ඉන්ධන මාෆියාව නතර කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට ඉන්ධන අවභාවිතය වැළැක්වීම සදහා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ වැටලීම් වැඩි කර තිබේ. ඉදිරියේදී සියලුම ඉන්ධනහල්වලට සි.සී.ටී.වී කැමරා සවි කිරීමටත් බවුසර් නිරීක්ෂණය කිරීමට ජී.පී.එස්. තාක්ෂණය යොදා ගැනීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදහස් කරයි.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ භූමිතෙල් සදහා රජය ලබා දෙන සහනාධාරය කොල්ලකෑමට තමන් කිසිවකුටත් ඉඩ නොදෙන බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව නිමාවේ විශේෂ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

කොලොන්නාව නිමාවේ ස්ථාපිත කෙරුණු ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතියේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් එම නීරීක්ෂණ චාරිකාව පැවැත්විණ. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ හෙල්මට් දාගෙන දේශපාලනය කිරීමට තරම් තමන් බියගුළු පුද්ගලයෙක් නොවන බවයි. ඇමැතිකමින් ඉවත් කළත් නැවත් තමන් ඉන්ධන මාෆියාව නතර කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.

“බාල තෙල් නැවක් හරවලා යවන්න මම බය නෑ. ඕනෑම වැරදි දෙයක් නවත්වන්න මම බය නෑ. මොකද අපිට 2015දී බලය ලබලා දුන්නේ මේ වෙනස ඇති කරන්න. මම වරායේ ඒ වෙනස ඇති කළා. එහෙට මෙහෙට පනින සමහර ඇමතිවරුන්ට පුද්ගලයින්ට හරි දුකයි වරාය ලාභ ලබනකොට, හොරකම් නවත්තනකොට. ෂෙඩ් වහනකොට, බවුසර් අල්ලනකොට. ඒත් මම එක දෙයක් කියනවා. මොන කරදර ආවත්, මොන අභියෝග ආවත්, එහෙට මෙහෙට පනින මොන ඇමති එපා කිව්වත්, ඉන්ධන මාෆියාව මම නවත්තනවා. අදටත් මට බලපෑම් කරන්න එන්නේ නෑ ජනාධිපතිතුමා අගමැතිතුමා. එතුමාලා මට කියන්නේ නැහැ ෂෙඩ් එකක් අරින්න කියලා. අල්ලපු බවුසර් නිදහස් කරන්න කියලා. ක්‍රිකට් ගහන කාලේ නම් මම හෙල්මට් එකක් දැම්මා අර යකඩ බෝලේ වදින හින්දා. එදයින් පස්සේ මම හෙල්මට් දාන්නේ නෑ. මට දේශපාලනය කරන්න හෙල්මට් අවශ්‍ය නෑ. එහෙට මෙහෙට පනින ඇමතිවරු කියන ඒවා මං ගනන් ගන්නෙත් නෑ…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

“අපි අද භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රුපියල් 30ක පාඩු ලබමින්. රජය එම පාඩුව විදගෙන භූමිතෙල් විකුණන්නේ මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්. නමුත් කූට ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් එභි වාසිය ගන්න බලනවා. බස්වලට ගහනවා. ලොරිවලට භූමිතෙල් කලවම් කරනවා. මේ ළගදි ගම්පහ නගර සභාවේ ට්‍රැක්ටර් දෙකක් නැවතුණා. තමුන්නාන්සේලා මට කියන්නේ මේවා දැක දැක මටත් ඉස්සර වගේ ඇස් දෙක පියාගෙන ඉන්න කියලාද ? කන් වහගෙන ඉන්න කියලද ? මට එහෙම කරන්න බැහැ. මේ වැරදි අපි නවත්තන්න ඕනේ. ඒ වැරදි හදන්න තමයි 2015 ජනවාරි මාසේ අපේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි මේ රටේ ජනතාව බලය දුන්නේ. අර එහෙට මෙහෙට පනින අනිත් අය කරන දේවල්, කියන දේවල් මට අදාළ නැහැ. මම මේ වැරදි හදනවා. යන්න වුණොත් ගෙදර යනවා. නමුත් ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් අද වෙනකන් මේ ඉන්ධනහල්වලට සීල් තැබුව වෙලාවේ, තෙල් කලවම් කළ බවුසර් අල්ලපු වෙලාවේ, ඒවා නතර කරන්න කියලා මට වචනයක් කියලා නැහැ…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *