රුපියල් කෝටි දෙකක මාරු කාසි උතුරට

(කොළඹ, ලංකාපුවත්) –උතුරු ප්‍රදේශයේ සියළුම බැංකු සදහා පෙබරවාරි මස පලමු වෙනිදා රුපියල් කෝටි දෙකක් වටිනා මාරු කාසි ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහර මුදල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

උතුරු පළාතේ මාරුකාසි වල දැඩි හිගයක් පවතින බවට පළාතේ බැංකු විසින් කරණ ලද දැනුම් දීමකට අනුව රුපියල් කෝටි දෙකක් වටිනා රුපියල් 10,5,2 යන මුදල් වලට අයත් මාරු කාසි ලබාදීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

මේ දිනවල උතුරු පළාතේ පවතින දැඩි මාරු කාසි හිගය නිසා රාජ්‍ය අංශයේ වෙළෙදසැල් වලින්ද පාරිභෝගිකයින්ට මාරු කාසි වෙණුවට ටොෆි,චොක්ලට් හා ගිණිපෙට්ටි ලබා දීම සිදු කරණු ලබන බව සදහන්ය.

මේ අන්දමට උතුරු පළාතේ මාරු කාසි හිගයට හේතු වශයෙන් බැංකු නිලධාරීන් සදහන් කරන්නේ කෝවිල් වල පිං කැටවලට දමනු ලබන අති විශාල මාරු කාසි ප්‍රමාණය ආපසු නොලැබීමත් ළමයින් හා වැඩිහිටියන් කැට වලට මාරු කාසි දැමීම නිසා ඒවා ආපසු බැංකුවලට පැමිණීම ප්‍රමාද වන බවය.

මීට අමතරව පිත්තල වලින් නිපදවා ඇති රුපියල් 5 මාරු කාසිය උණු කොට ඇතමුන් මාල තැනීමද,රුපියල් 10 විශේෂ කාසියේ දිස්ත්‍රික්ක වල වැදගත්කම කාසියේ පිටුපස සදහන් වීම නිසා ඒවා පාසල් ළමුන් අධ්‍යයන කටයුතු සදහා තබා ගැනීමද උතුරේ මාරු කාසි හිගයට හේතු බව එම නිලධාරීන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *