දූෂිතයින්ට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – සොරුන් රැකගැනීම සහ සොරුන් නිදහස් කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේම පිරිසක් විසින් පිහිටුවාගත් පක්ෂයට කිසිදා නොකිලිටි දේශපාලන ගමනක් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් 96 දෙනාටම තමා සමග එක පෙළට සිට ගන්නට පැමිණෙන්නැයි තමන් ඇරයුම් කළේ තම දේශපාලන ප‍්‍රතිපත්තිය සමග ඇතැමුන්ට එකඟ විය නොහැකි බව නොදැන සිටි නිසා නොවන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(29) පස්වරුවේ රිකිල්ලගස්කඩ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

වංචාව දූෂණය උදෙසා තම අරමුණු ඉටු කර ගැනීමට කවුරුන් කෙසේ කටයුතු කරමින් සිටියද රටට අවශ්‍ය නොකිලිටි දේශපාලන ව්‍යාපාරය කුමන අභියෝග හමුවේ වුව ද ජය ගන්නා බව අවධාරණය කළ ජනාධිපතිතුමා සොරුන් නොවන, සොරකම් නොකරන සහ සොරකම් කළ බවට චෝදනා නොමැති පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාට පිරිසිදු රජයක් ගොඩනඟා ගනිමින් ඉදිරියට යාමට තමා ඇරයුම් කරන බව ද කියා සිටියේය.

2015 වසරේ ජනාධිපතිවරණයෙන් මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙම පෙබරවාරි 10 වනදා පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත හැකි අයුරින් මේ වන විට ශක්තිමත් කර තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් අපේක්ෂා කරන රටට ආදරය කරන සියලු ජනතාව ඒ සමග අද අත්වැල් බැඳගෙන සිටින බවද කියා සිටියේය.

1994 පිහිටුවාගත් ආණ්ඩුවේ පළමු පනත වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සම්මතකරගෙන මේ වන විට වසර 23 ක් ගතව තිබුණ ද එම වසර විසි තුන පුරාවටම දූෂණ චෝදනා යටතේ නඩු පවරා වැරදිකරුවන් බවට පත්ව ඇත්තේ පුද්ගලයින් 04 දෙනෙක් පමණක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඊට ප‍්‍රධාන හේතුව වූයේ එම පරීක්ෂණ නිසි ලෙස ඉටුකිරීමට ඉඩ නොදීම සහ විශේෂයෙන් පසුගිය රජය සමයේ අරලියගහ මන්දිරයේ සිට අධිකරණය වෙත ලැබුණු දුරකතන ඇමතුම් බව ද කියා සිටියේය.

වංචාව දූෂණය රටෙන් තුරන් කර නොදමා රටට අනාගතයක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා දූෂණයට එරෙහි සටනට පක්ෂ, පාට, ජාති, ආගම්, කුල බේද නොසලකා සියලු ජනතාව ඒකරාශිවීම යුගයේ අවශ්‍යතාවයක් බවද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ තවත් සාර්ථක ජනහමුවක් මෙලෙස රිකිල්ලගස්කඩ දී අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, නුවරඑළිය දිස්ති‍්‍රක් නායක අමාත්‍ය එස්.බී. දිසානායක, පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, අනුරුද්ධ පොල්ගම්පොල, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් පේ‍්‍රමවංශ, හඟුරන්කෙත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් වන නාරද බණ්ඩාර දිසානායක, ජයරත්න දිසානායක, මස්කෙළිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඩබ්.ජී. රණසිංහ, වලපනේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක ජගත් සමරහේවා, නුවරඑළිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක රොෂාන් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *