වසර 151කට පසු සුපිරි නීල සඳක්

(කොළඹ, ලංකාපුවත්) – වසර 151 කට පසුව දැකගත හැකි සුපිරි නීල සඳක් සහ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට (31) රාත්‍රියේදී දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදාවන්නේ යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

බ්ලූ මූන් හෙවත් නීල චන්ද්‍රයා නිල් පැහැයට කිසිදු සබඳතාවක් නොමැති වුවද, එකම මාසයක් තුළදී කලාතුරකින් ඇතිවන දෙවන පුර හඳ හඳුන්වන්නේ එලෙස නීල් චන්ද්‍රයා ලෙසින් බවද ඒ මහතා කීය.

හෙට (31) දින පායන පුර හඳ වෙනත් ‍පොහෝ දිනවලට වඩා 14 ක් විශාලවත් 30 ක වැඩි දීප්තියකිනුත් පෙනෙන බැවින් එය සුපිරි සඳක් ලෙස හඳුන්වයි. මේ දිනවල සඳ පෘථිවියට වඩාත් ළං වී ගමන් කිරීම නිසා මෙලෙස වඩා විශාලව සහ වැඩි දීප්තියකින් දිස්වන අතර ඉකුත් 1 දා පෑයූ පුරහඳද එවැනි සුපිරි සඳක් විය. ඒ අනුව 31 දා රාත්‍රියේදී චන්ද්‍රයා පෘථිවියට කිලෝමීටර 358995 තරම් ළංව පිහිටන බවද මහාචාර්යවරයා සදහන් කළේය.

චන්ද්‍රග්‍රහණයේ ආරම්භය මෙරට සම්මත වේලාවෙන් හෙට (31) ප.ව. 4.21 ට සිදුවන බැවින් එම ග්‍රහණයේ අවසන් කොටස පමණක් මෙරටට දිස්වන බව චන්දන ජයරත්න මහතා පැවැසීය. ඒ අනුව නැගෙනහිර ක්ෂිතජයෙන් චන්ද්‍රයා උදාවනවාත් සමගම ප.ව. 6.15 පමණ සිට ප.ව. 8.41 දක්වා කාලය තුළ මෙම ග්‍රහණය දැක බලා ගැනීමට හැකියාව ලැබෙයි. පෘථිවියේ උප ඡායාවෙන් චන්ද්‍රයා ඉවත් වීමත් සමග එදින රාත්‍රී 9.38 ට ග්‍රහණය අවසන් වේ. චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ හොඳම කාලය වන්නේ හෙට ප.ව. 6.15 සිට රාත්‍රී 8.41 අතර කාලය යැයි ඒ මහතා කීය.

සූර්යයාගේ කිරණ පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන විට ආලෝක වර්ෂාවලියේ සමහර වර්ණ විසිරී යන බවත්, එවැනි අවස්ථාවක සඳෙහි පෘෂ්ඨය වෙතට රතු ආලෝකයක් පතිත වීමටත් ඉඩ ඇති බවත්, හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව පූර්ණ චන්ද්‍රග්‍රහණ ඇතිවන සමහර අවස්ථාවලදී චන්ද්‍රයා අඳුරු පැහැයට වඩා රන් පැහැයක් ගනු ලබයි. මෙවර චන්ද්‍රග්‍රහණයද එවැන්නක් බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *