දූෂණයට, අල්ලසට, පවුල්වාදයට හා ඒකාධිපතිත්වයට විරුද්ධව මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –දූෂණයට, අල්ලසට, පවුල්වාදයට හා ඒකාධිපතිත්වයට විරුද්ධව මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නැයි ජනාධිපතිතුමා ඓතිහාසික මහියංගණය පුරවරයේ සිට රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලයි.

රට ගොඩනැගීමට මුලින් ජයග‍්‍රහණය කළ යුත්තේ එම වැඩපිළිවෙළ බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ඊයේ(01) පස්වරුවේ මහියංගණය නගරයේ පැවති ජනහමුවක් අමතමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින බදුල්ල දිස්ති‍්‍රක් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජනහමුවට දිස්ති‍්‍රක්කයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

උණුසුම් ජනතා ප‍්‍රතිචාරයක් මැද ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දූෂණයට එරෙහිව තමන් ගෙනයන වැඩපිළිවෙළ සමග මේ රටේ අතිබහුතර ජනතාවක් මේවන විට අත්වැල් බැඳගෙන අවසන් බවයි.

විවිධ මුහුණුවරින් වීරයින් ලෙස පෙනී සිටියත් දූෂණ හා වංචාවලට සම්බන්ධ පිරිස් කවුදැයි අද රටම හඳුනාගෙන තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ඔවුන්ට නිසි පිළිතුරු ලබාදෙනු ඇති බව ද කියා සිටියේය.

ආණ්ඩු විරෝධී මැතිවරණයක් සේ සලකා මෙම මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිතා කරන්නැයි හිටපු නායකයා ජනතාවගෙන් කරන ඉල්ලීම ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොව හොඳ රාජ්‍ය පාලනයක් සමග අලුත් වැඩපිළිවෙළක් සකස් කර ගැනීමේ මැතිවරණයක් බවත් එම මැතිවරණයේදී රටට අවශ්‍ය පරිවර්තනය වෙනුවෙන් සියලු ජනතාව බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත්ය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බදුල්ල දිස්ති‍්‍රක් නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් අමාත්‍ය අනුර විදානගමගේ, මහියංගණ දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක කේ.පී. ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *