රට වෙනුවෙන් ඉටු කළ යුතුව ඇති සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – සැබෑ නිදහස යනු දේශපාලන නිදහස පමණක්ම නොවන බවයි. නිදහස පරිපූර්ණ වීමට නම් යම් ජාතියක ආර්ථික නිදහස හා සංස්කෘතික නිදහස ද තහවුරු විය යුතු බව පිළිගත යුතු යථාර්ථයක් බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අභිමානවත් 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

ජාතික නිදහසෙහි ඇති අගය වටහාගැනීමට නම් පරාධීනත්වය ඇති කරන අවමානය ද පීඩනය ද වටහාගත යුතුය. රටේ නිදහස උදෙසා ප්‍රාණ පූජාවෙන් යුතුව කැප වූ අපේ අභීත විරුවන්ට අප සදා ණයගැති වන්නේ එබැවිනි. නිදහසෙහි අගය ගැන සිහිකරන අද වන් දිනක, ශ්‍රී ලංකාව විජය භූමියක් කිරීමට කැප වූ, සැබෑ පරිත්‍යාගශීලීන් වූ ඔවුන් සියලු දෙනා වෙත සමස්ත ජාතියේ උත්තමාචාරය පුද කරන්නේ හද පිරි බැතියෙනි.

ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහසේ දශක හතක් සපුරන මේ මොහොත, අප විසින් පසුගිය කාලයේදී අත්පත්කරගත් සාධනීය වර්ධනයන් සහ ජයග්‍රහණ පිළිබඳව ගැඹුරින් ආවර්ජනය කිරීමට සුදුසුම අවස්ථාවක් ලෙස සැලැකිය හැකිය. එකී කාල පරාසය තුළ අප නියත වශයෙන්ම සපුරාගත යුතුව තිබූ මානව සංවර්ධන ඉලක්ක සහ මුහුණදිය යුතුව තිබූ සමාජ, ආර්ථික, දේශපාලන සහ ජන ජීවිතයේ ආරක්ෂාව සම්බන්ධ අභියෝග පිළිබඳව සලකා බැලීමේදී අපි ගිරිදුර්ග රැසක්ම සාර්ථක ලෙස තරණය කර ඇත්තෙමු.

ස්වදේශීය අනන්‍යතාවයෙන් ඔප්නැංවුණ ජාතියක් ලෙස අපට ඕනැම අභියෝගයක් ඉදිරියේ නැඟී සිටිය හැකිය. ඒ බව අප අපගේ සමස්ත ඉතිහාසය තුළ මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. ශ්‍රී ලංකාව යනු යුහුසුළුව නැඟී සිටිය හැකි රටක් බව මේ මොහොතේදී අප නැවතත් සනාථ කළ යුතුව තිබේ. ඒ සඳහා අප විසින් දියත් කළ යුතු සංග්‍රාම ගණනාවක් ඇති බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. සැමට සම අවස්ථා හිමිවන හරිත සංවර්ධනයක් කරා යොමුවීමද, ඒ තුළ ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම ද අපගේ මානව සම්පත ගෝලීය වශයෙන් ඉහළ ගුණාත්මක සහ තරගකාරී මට්ටමකට ගෙන ඒම ද අපගේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු ඉලක්ක වන්නේ ය.

ඒ සමඟම, අප මැනවින් අවබෝධකරගත යුතු සත්‍යයක් වන්නේ සැබෑ නිදහස යනු දේශපාලන නිදහස පමණක්ම නොවන බවයි. නිදහස පරිපූර්ණ වීමට නම් යම් ජාතියක ආර්ථික නිදහස හා සංස්කෘතික නිදහස ද තහවුරු විය යුතු බව පිළිගත යුතු යථාර්ථයකි. ආර්ථික නිදහස කරා අප යන ගමන පිළිබඳව සැලකීමේ දී මේ වර්ෂය අපට ඉතා වැදගත් වනු ඇත.

රටක් ලෙස අප අතීතයේදී මෙන්ම අනාගතයේදී ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව, අපගේ දිගු කාලීන ඉලක්ක සමඟ බැඳී සිටීම අපගේ සාර්ථකත්වයයි. මොරගහකන්ද ජලාශය නිමකිරීමත් සමඟ මහවැලි ව්‍යාපාර සාර්ථකව නිමකිරීමට හැකිවීම ඊට සාක්ෂි දරයි. එමෙන්ම මේ වර්ෂය ‘ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය’ ලෙස නම් කරනු ලැබුවේ අප ජාතිය දශක හතක් තිස්සේ දුටු සිහිනයක් වන ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කරගැනීමට ය.

නිදහස ලබා දශක ‍හතක් සපිරෙන මේ අභිමානවත් අවස්ථාවේ රට වෙනුවෙන් ඉටුකළ යුතුව ඇති සියලු වගකීම් නොපිරිහෙලා ඉටුකරන බව සපථ කරන අතරම ජාතියක් ලෙස අපේ සැබෑ ශක්තිය නම් අපගේ සමඟිය සහ අධිෂ්ඨානය බව අවධාරණය කරනු කැමැත්තෙමි.

මෛත්‍රිපාල සිරිසේන
ශ්‍රී ලංකා ජනාධිපති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *