දූෂණ විරෝධය, රටක ආත්ම ආරක්ෂණය බව නිදහස් සැමරුමට එක්වෙමින් ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – 70 වසරක අතීත අත්දැකීම් සමග අනාගත අභියෝග හඳුනාගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

එකම දැයක් යන්න තේමාකරගත් 70වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

නිදහස් දින සැමරුම් උළෙල ඇමතූ ජනාධිපතිවරයා අනාගත අභියෝග හඳුනාගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව පැහැදිළි කරන ලදි.

“අප අද ඉතාමත් ගෞවරයෙන් මෙන්ම අභිමානයෙන් සිහිපත් කරන්නේ අපේ රටට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර 70 ක් සපිරීමයි. මේ ගෙවී ගිය වසර 70ක අත්දැකීම් අපේ රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම සදහා අනාගත ප‍්‍රගමනය සදහා ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම 1948 නිදහස ලැබීමෙන් පසු අපට තිබූණු අභියෝග ගණනාවක් අප විසින් ජය ගනු ලැබුවා. ඒ සදහා එදා සිට මෙදා දක්වා බලයට පත්වූ සෑම රජයක්ම, රාජ්‍ය නායකත්වයක්, රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ රටේ පොදු මහජනතාව ඒ සියල්ල සිය වගකීම් සහ යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව මම විශ්වාස කරනවා. බලාපොරොත්තු නොවූ ආකාරයට අපේ රට බෙදීමට, වෙන් කිරීමට ඇතිවූ මිලේච්ඡ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය නිසා ඔවුන් පරාජයට පත්කිරීමට අපට වසර 26 ක පමණ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණ දීමට සිදුවුණා. එය අපේ ආර්ථික පසුබෑමක් මෙන්ම විවිධ ක්ෂේත‍්‍රවල ජාතියේ ප‍්‍රගමනය සදහා ගෙන ගිය ප‍්‍රබුද්ධ වූ වැඩපිළිවෙළවල් තුළ පසුගාමී තත්ත්වයන් ඇතිවීමට හේතු වුණා. එහෙත් අපේ ඉතිහාසයේ වසර ගණනක ශ්‍රේෂ්ඨත්වය, අභිමානය, පෙර දවස මහා අභිමානවත් ශ්‍රේෂ්ඨ වූ ඒ මහා කතාවෙන් අපට තිබෙන අත්දැකීම් ජාතියට ඇතිවී තිබෙන ජීව ගුණය ඒ සියල්ල සමග අපට අපේ අනාගතය සදහා අප ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට අපේ රට තුළ සිටින උගතුන්, බුද්ධිමතුන්, බහුශ‍්‍රැතයන් පඩිවරුන් විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන් සමග රටේ පොදු මහජනතාව ඒ සිය යුග මෙහෙවර ඉටු කරමින් සිටිනවා. අද අප මුහුණ දෙන්නා වූ ප‍්‍රධානතම අභියෝග මොනවාද, ජාතියේ අනාගතය සදහා අප විසින් කළ යුතු මෙහෙවර කුමක්ද, හැත්තෑ වසරක අතීත අත්දැකීම් සමග අනාගතය ගොඩනගා ගැනීම සදහා අප ඒ අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ජාතියේ ප‍්‍රගමනය සදහා ප‍්‍රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලූදෙනා කැපවිය යුතු වෙනවා. එය අප වැළඳගත යුතු වෙනවා. එහි තිබෙන්නා වූ ජීව ගුණය අප විසින් ශක්තිමත් කළ යුතු වෙනවා.”

“අද ඔබ අප කවුරුත් දන්නා පරිදි අපට ආර්ථික වශයෙන් අසීරුතාවයන් තිබෙන පසුබිම තුළ එම ආර්ථික ජයග‍්‍රහණ ළගාකර ගැනීම සදහා රජයක් විදියට කැපවී සිටිනවා. අප මුහුණදෙන අභියෝග අතර දුගී භාවය, ප‍්‍රබල වූ අභියෝගයක්. මීට පෙර බලයට පත්වූ සෑම රජයක්ම දුප්පත්කමින් නිදහස්වීම සදහා විවිධ ව්‍යාපෘතින් කි‍්‍රයාත්මක කර ඇති අතර ඒවායේ යම් යම් ප‍්‍රතිඵල සුබදායී ලෙස තිබෙන්නා සේම අපි ඒ අතීත අත්දැකීම් සමග නව වැඩපිළිවෙළක් තුළ දුගී බවින් නිදහස් වීම සදහා දැනට කෙරෙන කාර්යයන් මීට වඩා ප‍්‍රබුද්ධ ලෙසත්, කාර්යක්ෂම ලෙසත් අප විසින් ඉටුකළයුතු වෙනවා. එහිදී මා විශ්වාස කරනවා දුප්පත්කමින් නිදහස් වීමේ ඒ අභියෝගය අපට ඉදිරියේදී ජය ගත හැකියි කියා. අප සංවර්ධනයේ ජාතික ප‍්‍රමුඛතා හදුනාගැනීම අවශ්‍ය වෙනවා. ඇතැම් වෙලාවට කණගාටුවෙන් වුවද කිවයුතු වෙනවා සංවර්ධනයේ ජාතික ප‍්‍රමුඛතා නොසළකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත‍්‍රයන් තුළ අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ කරන ලද සංවර්ධනය ඇතැම් වෙලාවට ජාතික ආර්ථිකයට අයහපත් ප‍්‍රතිඵල ලබා දී තිබෙනවා. ඒ නිසා දේශපාලන නායකත්වය රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වය රාජ්‍ය පරිපාලනය කළමනාකරණය මූල්‍ය කළමනාකරණය සෑම විටම මෙහිදී පැහැදිලි ලෙස සංවර්ධනයේ ජාතික ප‍්‍රමුඛතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ රට උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පඬිවරුන්ගෙන් අදට වඩා ශක්තිමත් කළයුතුයි. ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ රටක. එය අප විසින් කළයුතු වෙනවා. ඒ සදහා අප අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාවය, අධ්‍යාපන ප‍්‍රතිපත්ති සහ සැලසුම්වල අදට ඔබින ආකාරයට සකස් කළයුතු වෙනවා. මෙහිදී අධි තාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප‍්‍රවණතාවයන් සමඟ අප මූලික වශයෙන්ම නවෝත්පාදන ආර්ථීකය, හරිත ආර්ථීකය සඳහා කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා. නවෝත්පාදන ආර්ථිකයේත්, හරිත ආර්ථිකයේත් මූලධර්ම සහ ප‍්‍රතිපත්ති තුළ මූලික වශයෙන් නිපුණතා සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනයට ඉතාමත් වැදගත් ස්ථානයක් දීම අත්‍යවශ්‍යයි යන්න මාගේ අදහසයි.”

“අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා ඉතා පැරණි පරිපාලන රෙගුලාසී මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළයුතු වෙනවා. ගෙවීගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් තවමත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, ඇතැම් වගන්ති ඒ වගේම රෙගුලාසි තිබෙන බව ඔබ අප දන්නවා. එය සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් ලෙස අපි දකිනවා. කාර්යක්ෂම සංවර්ධනයක් ඒ වගේම වේගවත් සංවර්ධනයක් විනයක් ඇති පරිපාලනයක් මේ සඳහා අප ඒ රෙගුලාසි සංශෝධනය කඩිනමින් කළ යුතු වෙනවා. ඒ වගේම මේ රටේ ඉතා වැදගත් ක්ෂේත‍්‍ර ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක් සදහා අප අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව ව්‍යාවස්ථාදායකය, ජනාධිපති තනතුර මේ සියලූ ආයතන සහ තනතුරු වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කොට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. විශේෂයෙන්ම දූෂිත දේශපාලනය ජාතියේ ප‍්‍රගමනයට අනාගතයට අයහපත් බරපතළ ප‍්‍රශ්නයක් අභියෝගයක් සහ අවහිරයක් වී තිබෙන බැවින් අපි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ජනාධිපතිධූරයේ සිට පළාත් පාලන ආයතන දක්වා, පළාත් පාලන ආයතනවල සිට ජනාධිපතිධූරය දක්වාත් ප‍්‍රතිසංවිධානය විය යුතුයි. සංවර්ධන සැලසූම්වල විධිමත්භාවය මෙන්ම විනයක් ඇති දේශපාලන පරපුරක් සමග මේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය පැහැදිළිව දකිනවා. සංවර්ධනයේ අභියෝග ජාතියේ අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග ජයගැනීමේදී පැහැදිළි ලෙසම දේශපාලනඥයා තුළ තිබිය යුතු අවංකභාවය ඉතාමත් වැදගත් වෙනවා. මේ අවංකභාවය තුළයි ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් රට ගොඩනැඟීමටත් මුළු මහත් පොදු ජනතාව රාජ්‍ය පාලනය සදහා ඒකරාශී වන්නේ. ඒ නිසා දේශපාලනඥයින් තුළ තිබිය යුතු කැපවීම, අවංකභාවය, නොකිළිටිභාවය, පිරිසිදුභාවය ඉතාමත් වැදගත් යුගයේ අවශ්‍යතාවයක් ලෙස මම දිකිනවා, මේ 70වන නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඔබෙත්, මගේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගා ගැනීම සඳහා මිනිසුන්ට මෙන්ම ගස, කොළ ඇතුළු සියලූ සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍යයි ඔබ අප කවුරුත් දන්නවා. සතා සිව්පාවා ගහකොළ ඇළ දොළ ස්වභාව ධර්මයාගේ අසීමිත වස්තූන්, ඊට තිබිය යුතු නිදහසත්, මිනිසාට තිබිය යුතු නිදහසත් කිසිදු වෙනසක් නොමැති බව නිදහස පිළිබඳ කථා කරනව විට අප සෑම විටම සිතා ගත යුතුයි. ඒ සදහා අපේ කැපවීම අධිෂ්ඨාන කර ගත යුතුයි.”

“අපි සැමවිටම සැබෑ නිදහස යන්න මිනිසෙකුගේ නිදහස පමණක් නොව එහි තිබෙන්නා වූ ඉතාමත් සංකීර්ණ ස්වභාවය, එහි තිබෙන්නාවූ ඉතාම ව්‍යාප්ත තත්ත්වය, වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට වඩ වඩාත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා මේ සියලූ කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි. නිදහස පිළිබද අපට තිබෙන්නා වූ අවබෝධයත්, අත්දැකීමත් සමග සතුටින් ජීවත්වෙන්න නිදහස් සමාජයක සෞභාග්‍යය ඉතාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍ය ජනතාවගේ ප‍්‍රාර්ථනාවක්. ඒ නිසා නිදහස සියලූ අංශවල ශක්තිමත් කරන්නත් සෞභාග්‍යය උදාකර දීම සඳහා ස්වදේශික අපේම ජනතාවගේ අනන්‍යතාවයන් දේශීයත්වය අපේ කර්මාන්ත අපේ කෘෂි කර්මාන්තය අපේ කියන සියලූ දේවල් සමඟ අපේ සංස්කෘතිය ජාතික අනන්‍යතාවයන් සමඟ ඒ සෞභාග්‍යය උදාකරදීම සඳහා අප සැම විටම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. විදේශීය රටවල්වල, දියුණු රටවල්වල තිබෙන තාක්ෂණික දියුණුව අපේ දැනුමට අවශ්‍යයි මෙන්ම ඒ දැනුම ලබා ගැනීමත් සමග අප කිසිවිටෙකත් අපේ ස්වදේශික ප‍්‍රාර්ථනාවන්, ස්වදේශික ඓතිහාසික උරුමයක් බිඳ නොහළන ලෙස කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ට ඉතිහාස කථාවේ මූලික වශයෙන් ම අපේ සංස්කෘතිය, අනන්‍යතාව අපේ පෞරාණික වස්තු, අපේ උරුමයන් සියල්ල රැකගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන අප අපේ මාතෘභූමිය ගොඩනැගිය යුතු වෙනවා. මේ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලූ කාර්ය මණ්ඩල ප‍්‍රධානීන්ගේ වගකීම් සැමවිටම ඉටුකළ යුතු වෙනවා. අපි මේ සියල්ලෙහි අවධානය යොමුකළ යුතු වෙනවා මා පෙර කී පරිදි අපට තිබෙන අභියෝග අප කිසිවිටෙක අමතක නොකළ යුතුයි. දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව යන්න මා මෙහිදී සඳහන් කරනවා. රටේ සංවර්ධනය සඳහා රටේ අනාගතය සඳහා දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක‍්‍රියාත්මක කිරීම ජාතියේ ප‍්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙසයි මා මෙහිදී දකින්නේ, එසේම මා මෙහිදී හඳුන්වන්නේ. අපේ ශ්‍රේෂ්ඨ මව්බිම මත ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථික නිදහසට එරෙහිව දූෂණය අල්ලස හොරකම නාස්තිය අප විසින් පිටු දැකිය යුතු වෙනවා. හොරකම, දූෂණය අල්ලස අපිට අපේ ජාතියේ අනාගතය සඳහා අද ඉතාමත් දැඩි ලෙස බලපා තිබෙන කාරණයක්. සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ තම තමාගේ වගකීම් ඉටු කිරීමේදී ඒ ආදර්ශය දීම අත්‍යවශ්‍ය යුග මෙහෙවරක් යුගයේ කාර්යයක් ලෙසයි මම මෙහිදී හඳුන්වන්නේ. අප කුසීතකමෙන්, අලසකමනේ පසුබෑමෙන් තොරව කාර්යක්ෂමව එඩිතරව, වීරත්වයෙන් සටන්කාමිත්වයෙන් අපි අපේ ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය ප‍්‍රබුද්ධත්වය තුළ මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා සෑම කෙනෙක්ම කැපවීමේ අත්‍යවශ්‍ය බව මම මෙහිදී පැහැදිලිව දකිනවා.”

“අපට පසුගිය දශක කිහිපයක තිබෙන අත්දැකීම් සමග මේ රට ගොඩනැගීම සදහා මූලික වශයෙන් ජාතිවාදී අදහස්වලින් තොරව ජාතික සමගිය සංහිඳියාව ශක්තිමත් කරමින් ජාතිවාදී ගැටුම්වලින් තොරව ජීවත් වීමේ නිදහස රටේ සියලූ දෙනාට සහතික කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ සහතික කිරීම තුළ සියලූදෙනාගේ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රායෝගිකව අවශ්‍ය වෙනවා. සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් සියලූ ජනකොටස්වල සහජීවනය, සමගිය, ආගමික සහජීවනය, භාෂාවේ ජාතික සහජීවනය මේ සියල්ල තුළ ජාතික සමගිය ශක්තිමත් කරමින් සියලූ දෙනාට විශ්වාසයෙන්, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය අප සෑමවිටම සහතික කළයුතු වෙනවා. ඒ නිසා අපි මේ සියලූ කාර්යයන් සඳහා අපේ කැපවීම ඉතා අත්‍යවශ්‍ය බවයි මේ හැත්තෑවන නිදහස් ඓතිහාසික සමුළුවේදී මුළු මහත් ආදරණීය ජනතාව ප‍්‍රමුඛව සියලූ වගකීම් දරණ සෑම ක්ෂේත‍්‍රයකම ප‍්‍රධානින්ගෙන්, වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටින්නේ. අද මූලික වශයෙන්ම දේශපේ‍්‍රමිත්වය යනු මූල්‍ය විනයක් ඇතිව සියලූ දෙනා වැඩ කිරීමයි කියා මා මෙහිදී ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. දේශපේ‍්‍රමිත්වය එක් එක් යුග තුල, එක් එක් කාල පරිච්ඡේද තුළ, එක් එක් අවස්ථා තුළ එය අපට විග‍්‍රහ කරන්න පුළුවන්. ඊට අවශ්‍ය නිර්වචනයන් දෙන්න පුළුවන්. අද දේශපේ‍්‍රමිත්වය යනු සෑම කෙනෙක්ම දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන්ද රටේ අවසාන පුරවැසියා ද සිය කටයුතු කිරීමේදී මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම බව මා මෙහිදී දැඩි ලෙස ගෞරවණීය ලෙස අවධාරණය කරනවා. දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මා මෙහිදී දකිනවා. නිදහසේ අධිෂ්ඨානය පිරිසිදු, නොකිළිටි දේශපාලනයක් යන්නයි මාගේ අදහස. ඒ නිසා පිරිසිදු, නොකිළිටි දේශපාලනයක් සඳහා මූලික වශයෙන්ම අප සියලූ දෙනාම කැපවෙමින් අපට අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්. බහුශ‍්‍රැතයන් විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන් ප‍්‍රවීණයින්ගේ සෑදුම්ලත් සාමුහික ප‍්‍රයත්නයක් තුළ අප සියලූදෙනා වගකීම් ඉටුකරමින්, රට ගොඩනගා ගැනීමට තිබෙන ප‍්‍රධාන අභියෝගය වූ දූෂණය වළක්වා ගැනීම සදහා, අල්ලස වළක්වා ගැනීම සදහා අප සියලූදෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය මේ ගෞරවණීය, ආදරණීය ජනතාවට 70 වන නිදහස් සමුළුවේදී පැහැදිලි කිරීමට කාරුණිකව කැමතියි.”

“අද මේ ඉතාමත් වැදගත් අවස්ථාව, ගෞරවනීය අවස්ථාව, ජාතියේ අභිමානවත් අවස්ථාව මෙහිදී අප අමතක කළ යුතු නෑ අපේ රට බෙදන්නට විශේෂයෙන්ම එල්ටීටීඊ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදීන් කටයුතු කළ අවස්ථාවේ අපේ යුද නාවික, ගුවන්, පොලිස් සිවිල් ආරක්ෂක සේවා කරන ලද ඉමහත් වූ කැප කිරීම. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් ඔවුන්ගේ අවයව අතපය අහිමි කරමින්, ආබාධිත වෙමින් ඔවුන්ගේ දරුවන් පවුල් ජීවිත ඇතැම් විට අහිමි කරගනිමින් ඉතාමත් වේදනාකාරී අත්දැකීම් සමඟ ඔවුන් ජාතියේ අනාගතය සඳහා ජාතියේ නිදහස සඳහා මේ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාවය, ස්වෛරිත්වය සදහා ඔවුන් සටන් කරනු ලැබුවා. ඒ නිසා මම මේ හැත්තෑවන නිදහස් දින සැමරුම් උළෙලේදී විශේෂයෙන්ම මම රජයේත්, ජනතාවගේත් ගෞවරණීය ප‍්‍රණාමය මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස් සිවිල් ආරක්ෂක සියලූදෙනා සදහාත් ඒ යුද්ධය පැවති කාලයේ ඉතාමත් කැපවීමකින් කටයුතු කළ මුළු මහත් රාජ්‍ය සේවයේත්, පොදු ජනතාව ඒ සියලූදෙනාටම මගේ ගෞවරණීය ස්තූතිය පුදකරනවා සේම විශේෂයෙන් අද මේ 70වන නිදහස් සැමරුම් උළෙලට එක්වු ඔබ සියලූදෙනාටම මම වගේ ගෞවරණීය ස්තූතිය පුදකරමින් අපේ ජාතියේ අනාගතය සඳහා දුගී භාවයෙන් නිදහස් වෙමින්, දූෂණයෙන් නිදහස් වෙමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගමින් ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට අපේ ඓතිහාසික මතක සටහන්, අත්දැකීම් සමඟ නව අධි තාක්ෂණික ලෝකයේ නව පරපුරත් සමඟ උගත් තරුණ පරපුරත් සමඟ අප සියලූදෙනාම කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලූ දෙනාට තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමුගන්නවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *