ආණමඩුවට උදා ගම්මාන 14 ක්

(කොළඹ, ලංකාපුවත්) – ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළ උදා ගම්මාන 14 ක් නිර්මාණය වෙමින් පවතී. ගම්මාන 09 ක ඉදිකිරීම් මේ වන විට අංග සම්පූර්ණව නිමාවට පත් කර ඇති අතර, තවත් ගම්මාන පහක ඉදිකිරීම් මේ වන විට සිදුවෙමින් තිබේ.

කුරුලූවැව, වෙප්පමඩුව, කොට්ටුකච්චිය, අමුණුවැව, නීලබැම්ම, පහළ පුළියන්කුලම, මූණමල්ගස්වැව, නීරෝගම හා බෝගහයාය යන ගම්මානවල සියළු ඉදිකිරීම් මේ වන විට අවසන් කර ඇති අතර එම සියළුම ගම්මානවල ඉදිකර ඇති නිවාස ගණන 300 කි. හිසට සෙවණක් නොමැති සැමට නිවසක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම ගම්මාන ඉදිකිරීම සිදු කර තිබේ.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ උදා ගම්මාන වැඩිම ගණනක් නිර්මාණය වන මැතිවරණ කොට්ඨාශය ආණමඩුව බවයි. පසුගිය රජය යටතේ ආණමඩුවේ කිසිදු පවුලත් වෙත නිවාස ඉදිකර දීමක් සිදු නොවූ බවත් නව රජය බලයට පත් වී වසර කිහිපයක් ගතවන විට තම මැතිවරණ කොට්ඨාශය තුළ උදා ගම්මාන 14 ක් නිර්මාණය කරන්නට හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර තවත් ගම්මාන පහක ඉදිකිරීම් මේ වන විට සිදුවෙමින් තිබේ. දිවුල්ලෑව, පෙරමාකුත්තුව, වඩත්ත, ආඩිගම හා දංගස්වැව යන ගම්මාන ඉදිකිරීම එලෙස සිදුවන අතර, එම ගම්මානවල ඉදිවන සමස්ථ නිවාස ගණන 200 කි. ජලය, විදුලිය ඇතුළු සියළු පහසුකම් සහිතව මෙම ඉදිකිරීම් සිදු කිරීමටද පියවර ගෙන තිබේ.

2020 වන විට ආණමඩුවේ සැමට නිවාස සිහිනය සැබෑ කර දීම තම අරමුණ බවද ඒ වෙනුවෙන් මේ වසර තුළ තවත් උදා ගම්මාන 30 ක් පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *