ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ අක‍්‍රමිකතාවලට වගකිවයුත්තන්ට ඉදිරියේදී නිසි දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ නව ජනාධිපති කොමිසමේ කටයුතු සාර්ථකව ඉදිරියට කි‍්‍රයාත්මක වෙමින් එම සොරුන් ද රටට අනාවරණය කර ඔවුන්ට නිසි දඬුවම් ලබාදීමට ඉදිරියේදී හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(04) පස්වරුවේ පොළොන්නරුව තඹාල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අද මේ රටට අවශ්‍ය වන්නේ බෙදීමකින් තොරව සියලු දෙනා එකට එක්වී රට දියුණු කරන ක‍්‍රමයක් බවයි.

එම වැඩපිළිවෙළට ජාති,ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සියලු දෙනා ඒකරාශී විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අනතුරුව පොළොන්නරුව, 317 තලපත ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා ද ජනාධිපතිතුමා එක්විය.

එහිදී ද ජනතාව අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තමාට අවශ්‍ය වන්නේ පක්ෂවලට බෙදුණු මතවාදී දේශපාලනයක් නොව, සියලු දෙනා අපක්ෂපාතීව එක්ව රටට අවශ්‍ය සේවාව ඉටුකිරීම බවයි. එම වැඩපිළිවෙළ මෙවර මැතිවරණයෙන් පසුව සියලු දෙනා ඒකරාශී කරගනිමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමු සංවිධානය කර තිබුණි.

උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්ද්‍රසිරි සූරියආරච්චි, සම්පත් ශී‍්‍ර නිලන්ත, ලංකාපුර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සුරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම ජනහමුවලට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *