අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහීව ඉදිරියට පැමිණෙමින් තිබෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජාති, ආගම් බේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවගේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය ලෙස අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහීව ඉදිරියට පැමිණෙමින් තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(05) පස්වරුවේ අම්පාර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අම්පාර දිස්ති‍්‍රක් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.
අම්පාර නගර සභා කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවට ජාති, ආගම් බේදයකින් තොරව විශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන් ඉතා ගෞරවයෙන් සහ හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.

ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටට ආදරය කරන සියලු ජනතාව එක්වී රට වෙනුවෙන් අලුත් ගමනක් යා යුතු බවයි.

පශ්චාත් යුද සමයේ ඉටු නොවූ වගකීම් ඉටුකරමින් සියලු ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ඉටු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා යුද්ධයෙන් පසු හිටපු නායකයින් රටට ලබාදෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ එහෙත් රටට නොලැබුණු සැබෑ සංවර්ධනය රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ඉටුකරදීමට ද තමන් කැපවී සිටින බව කියා සිටියේය.

අපේකම්, අපේ සංස්කෘතිය සහ අනන්‍යතාවය සමග රට ගොඩනැගීමේ ඓතිහාසික යුග මෙහෙවර සැමදා ඉටුකළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බව පැවසූ ජනාධිපතිතුමා ඒ සමග රට තුළ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් රැසක් සිදු වූ බවත් අද ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටුකර ගනිමින් තමා මේ ඉටු කරමින් සිටින්නේ රටට අවශ්‍ය එම සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය බව කියා සිටියේය.

අම්පාර දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා රාජ්‍ය ඇමතිනි ශ‍්‍රියානි විජේවික‍්‍රම, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, වීරකුමාර දිසානායක, අම්පාර හිටපු නගරාධිපති ඉන්දික නලින්, කීර්ති වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, බන්දුල සරත් කුමාර නිපුන සොයිසා, ආරියරත්න විජයවික‍්‍රම, විපුල රත්නායක යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

ජනහමුවට සහභාගීවීමෙන් අනතුරුව අම්පාර මණ්ඩල මහා විහාරය වෙත ද ගිය ජනාධිපතිතුමා එහි විහාරාධිපති පූජ්‍ය සුහදගම සීලරතන නායක ස්වාමින් වහන්සේ බැහැ දැක සුව දුක් විමසීය.

එම විහාරස්ථානයට අදාළ පූජා ඔප්පුව ද මෙහිදී ජනාධිපතිතුමා විසින් විහාරාධිපති හිමියන් වෙත පිළිගැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *