මේ වසර අවසානයට පෙර දිවයිනටම වයිෆයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසර අවසන් වීමට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවලට වයිෆයි තාක්‍ෂණය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පුත්තලමේ ඊයේ(05) පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය සංවිධාන කර තිබුණි.

මේ සඳහා අතිවිශාල පිරිසක් සහභාගි වී සිටි අතර එහිදී අග්‍රාමාත්‍යවරයාට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“ගිය අවුරුදු 3 දී අපි රැකියා ලක්ෂ 4ක් බිහි කරලා තියෙනවා… රජයේ රැකියා, පුද්ගලික අංශයේ රැකියා, සවයං රැකියා, කෘෂිකර්ම අංශයේ රැකියා, ධීවර අංශයේ රැකියා ඒ සියල්ලම රැකියා ආදායම් මාර්ග ඇති කරලා තියෙනවා.. එහෙනම් දැන් තරුණ තරුණියන්ට ගැලපෙන විදිහට මේ රැකියා හදන්ට තියෙනවා.. අන්න ඒ ටික තමයි අපි කරගෙන යන්නේ.. අපි තීරණය කරා එන අවුරුද්දේ මැයි මාසේ හැම පාසලකටම 12 වෙනි අවුරුද්දේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එක ටැබ් එකක් අපි ලබලා දෙනවා… දැන් ටැබ්ස් දෙනකොට ප්‍රශ්නයක් ආවා අධ්‍යාපන අමාත්‍යංශයෙන්…. දැන් වයිෆයි නැති තැන මොනාද කරන්නේ කියලා… අපි තීරණය කරා අර ටැබ්ස් දෙන පාසල් 3000, 4000 තියෙන තැනට අප්‍රේල් මාසේට ඉස්සල්ලා පළමුවෙන්ම ෆ්‍රී වයිෆයි ලබලා දෙනවා… 2018 මේ වර්ෂය අවසන් වෙන්ඩ ඉස්සල්ලා හැම ගමකටම වයිෆයි නොමිලේ ලබලා දෙන පොරොන්දුව ඉෂ්ඨ කරනවා කියලා අපි කියන්ට කැමති….”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *