සීගිරි කැටපත් පවුරේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරයි

(කොළඹ, ලංකාපුවත්) –සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා අනාවරණය වීමත් සමඟ සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත රසායනික සංරක්ෂණය පිළිබඳ විශේෂඥයින් සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු ඊයේ (05)ආරම්භ කරනු ලැබීය.

ඒ දිලීර වර්ධනය මෙන්ම උෂ්ණත්වය නිරීක්ෂණය සහ ගණනය කළ හැකි අධි තාක්ෂණික කැමරාද යොදා ගනිමිනි.

කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාව දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වයට වහා පිළියම් යෙදීම සඳහා සෑම පියවරක්ම ගන්නා ලෙසත් අවශ්‍යතාව මත විදෙස් විශේෂඥ සහය ලබා ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම දිලීර ව්‍යාප්තිය පිළිබඳ අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියා සිටියේ මෙය සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස සමඟ සිදුවන ස්වභාවික සංසිද්ධියක් බවත්, රසායනික ප්‍රතිකාර හරහා නැවත යථාතත්වයට පත් කළ හැකිවනු ඇති බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *