රට ඉදිරියට ගෙනයාමේ ගමන 10 වනදා අරඹන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව කෙරෙහි විශ්වාසය තබමින් නොකිළිටි දේශපාලන ව්‍යාපාරයක් සමග රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළේ ඇරඹුම මෙම පෙබරවාරී 10 වන දා සනිටුහන් කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06) පස්වරුවේ මහරගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

දූෂිත දේශපාලනඥයින්ගේ රැකවරණය වෙනුවෙන් අලුත් පක්ෂයක් හරහා ගොඩනගාගත් පවුර මෙම පෙබරවාරි 10 වනදා රටට ආදරය කරන ජනතාව එක්ව බිඳ දමනු ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ඉදිරියේදී මේ රට සෞභාග්‍යමත් දේශයක් ලෙස ගොඩනැගීමට නම් රටට නායකත්වය දිය යුත්තේ සොරුන් නොවන පිරිසිදු දේශපාලනඥයින් පිරිසක් බව පැවසූ ජනාධිපතිතුමා එම ජනතාවාදී ව්‍යාපාරයේ පෙරමුණ ගත හැක්කේ රටේ ජනතාවාදී ව්‍යාපාරය වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පමණක් බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය තමා විධායක බලතල යොදවා ලබාගත් බවට හිටපු ජනාධිපතිවරයා රූපවාහිනී නාලිකාවකට කළ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ හිටපු කථානායකවරයාගේ නිවසට ඒමට තමාට ආරාධනා කර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ද ඉදිරිපිට එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම සභාපතිත්වය තමා වෙත භාරදුන්නේ හිටපු ජනාධිපතිවරයා විසින්ම බවයි. එබැවින් එවැනි ප‍්‍රකාශ පිළිබඳ තමා කනගාටු වන බව ද ජනාධිපතිතුමා පැවසීය.

අද විරුද්ධ දේශපාලනඥයින් විසින් නගන සියලු චෝදනා සහ විවේචන ප‍්‍රතික්ෂේප කරන අතරම නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක වංචාවෙන්, දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සමග රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහරගම නගර සභාවට තරගකරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.

අමාත්‍යවරුන්වන සුසිල් පේ‍්‍රමජයන්ත, ෆයිසර් මුස්තාපා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි, හෙක්ටර් බෙත්මගේ, එච්. එම්. බුද්ධදාස, චන්දන කති‍්‍රආරච්චි, චන්ද්‍රිකා සොයිසා යන මහත්ම මහත්මින් සහ මහරගම නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරගකරන අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *