මන්නාරම දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් කරනවා – අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

රට තුළ දැන් සාමය හා සංහිඳියාව ගොඩනැගී ඇති බව ද අගමැතිවරයා පැවසීය. එබැවින් රට සංවර්ධනයට සියලු දෙනා එක්විය යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

” ගිය අවුරුදු දෙක අපි ගත කළේ ඇත්ත වශයෙන්ම මූලික ප්‍රශ්න විසදන්න ..සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාව අතර සහජීවනය ඇති කරන්න…ආගම් භේද නැති කරන්න..ටික කාලයක් මේ මුස්ලිම් මිනිස්සු බයෙන් ජීවත් වුණේ…දැන් අපි ඒක නවත්තලා තියනවා…අද සාමය මේ රටේ ..එකට ජීවත් වෙනවා..අපි එහෙනම් ඒ සාමය ආරක්ෂා කරන්න ඕන..අපි සාමය ආරක්ෂා කරලා ජාතික එකමුතුව ඇති කරන්න ඕන.. අපි නිදහස් දිනයේදී දැක්කා ..අහුවා ජාතික ගීය සිංහලයන්නුයි දෙමළෙනුයි ගායනා කරනවා …අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ..එහෙනම් අපි ඔක්කොටම අයිතියක් තියනවා මේ රටේ ජීවත් වෙන්න..එදා මේක නොදියුණු ගමක් ..ඉතින් මේ ප්‍රදේශයට යළිත් සියලු දෙනාම පැමිණෙන නිසා ප්‍රදේශය ප්‍රතිසංස්කරණ කරලා හදන්න පියවරගන්න නිසා මං හිතුවා මමත් මෙහාට පැමිණිය යුතුයි කියලා..මන්නාරමේ සංචාරක කලාපයක් ආරම්භ කරන්න ක්‍රියා කරනවා..ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව ධීවර කර්මාන්තයෙන් ජීවත් වෙන්නේ…ධීවර කර්මාන්තයේ යෙදෙන අයට ආධාර උපකාර කරන්න ,බෝට්ටු ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියලා කියන්න කැමතියි…මේ දියුණුව ගෙනියන්න පෙබරවාරි 10වෙනිදා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න කියලා කියනවා…”

මන්නාරම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වදින අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනහමුව සංවිධාන කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *