පුංචි ඡන්දයේ බහුතර බලය පොදු ජන පෙරමුණට

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව බහුතර පළාත්පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී තිබේ. සභිකයින් 2946 ක් ජයග්‍රහණය කර පළාත් පාලන ආයතන 239 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස ගත්විට 45.11%කි.

එක්සත් ජාතික පක්ෂය සභිකයින් 2000කට වැඩි සංඛ්‍යාවක් පත්වී පළාත් පාලන ආයතන 42ක බලය ලබා ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 32.23%කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පළාත් පාලන ආයතන 7 ක බලය ලබා ගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන ආයතන කිසිවක බලය ලබා ‍ගැනිමට සමත් වී නැත.

ඉලංගෙයි තමින් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 38 ක බලය ලබා ගෙන ඇත.

මෙවර මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 18කට නාමයෝජනා දී ඇති ජාතික ජනතා පක්ෂය එහි දී මන්ත‍්‍රී ආසන 10 දිනා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන තුනක් දිනා ගෙන සිටියි.

කොළඹ මහ නගර සභාව සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වි ඇති අතර පාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවකට මුල් පුටුව හිමිව තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් පුරපති පුටුවට තරග වැදුණු රෝසි සේනානායක මහත්මියටයි.

ප්‍රකාශයට පත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය ප්‍රාදේශීය සභාව , මිගමුව නගර සභාව, කොලොන්නාව නගර සභාව, කොත්මලේ ප්‍රාදේශිය සභාව, හපුතලේ ප්‍රාදේශිය සභාව, පස්සර ප්‍රාදේශිය සභාව, අකුරණ ප්‍රාදේශිය සභාව, ගාල්ල නගර සභාව,වැලිගම නගර සභාව, කල්මුණේ ප්‍රාදේශිය සභාව, හැටන් දික්ඔය නගර සභාව, මහනුවර මහ නගර සභාව, ලුණුගල ප්‍රාදේශිය සභාව, අගලවත්ත ප්‍රාදේශිය සභාව, මන්නාරම මුසලි ප්‍රාදේශීය සභාව, අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන, ඉරක්කාමම් හා පොතුවිල් ප්‍රාදේශීය සභා, හම්බන්තොට මහ නගර සභාව, බදුල්ල මහ නගර සභාව සහ කළුතර නගර සභාව ජයග්‍රහණය කර ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පළාත් පාලන ආයතන 9 ක බලය තහවුරු කර ගැනීමට හැකිව ඇත. ඒ අනුව පොළොන්නරුව නගර සභාව, පොලොන්නරුව ප්‍රාදේශීය සභාව, ලංකාපුර ප්‍රාදේශීය සභාව, වැලිකන්ද ප්‍රාදේශීය සභාවවේ. කාතන්කුඩි ප්‍රාදේශීය සභාවේ බලයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද හිමිවේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාව සහ බදුල්ල ප්‍රාදේශීය සභාව මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභාව සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කර ඇති ආයතන අතර වේ.

ප්‍රකාශයට පත් කෙරුණු පළාත් පාලන අායතනවලින් කිහිපයක පළමු දෙවන ස්ථාන දිනාගත් පක්ෂවලට හිමිවු සභික සංඛ්‍යාව සමවි ඇත. එනම් බදුල්ල ප්‍රාදේශීය සභාව, කුරුණෑගල මහ නගර සභාව, අම්පාර නිනදවූර් ප්‍රාදේශීය සභාව, තංගල්ල නගර සභාව, දෙහිවල ගල්කිස්ස මහා නගරසභාව, සමන්තුරේ ප්‍රාදේශිය සභාව, දැරණියගල ප්‍රාදේශීය සභාව, උඩුදුම්බර ප්‍රාදේශීය සභාව ආදියවේ. ඒ අනුව අදාල පළාත් පාලන ආයතනවල වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් පක්ෂවලට ඒවායේ බලය පිහිටුවීම සඳහා වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාගැනීමට සිදුවනු ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, හික්කඩුව නගර සභා දෙක සහ රත්ගම, බෙන්තොට, බලපිටිය, වැලිවිටිය දිවිතුර, නෙලුව, කරන්දෙණිය, බෝපේ පෝද්දල, හබරාදූව සහ අම්බලන්ගොඩ යන ප්‍රාදේශීය සභාවල බලය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට සමත්ව තිබේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, වැල්ලවාය, කතරගම, බිබිල, බඩල්කුඹුර, තණමල්විල, මඩුල්ල, සියඹලාණ්ඩුව සහ මොනරාගල යන ප්‍රාදේශීය සභාවල බලය ද හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, පිටබැද්දර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය සභාවල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, හොරණ, බණ්ඩාරගම, පාලින්දනුවර සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාව සහ ලුණුගම්වෙහෙර, අම්බලන්තොට, සූරියවැව සහ තංගල්ල ප්‍රාදේශීය සභාවල මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගර සභාව, බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දෙකැටිය සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවල ද බලය තහවුරු කරගැනීමට ඔවුහු සමත් වූහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලියප ප්‍රාදේශීය සභාව මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභාව සහ පදියතලාව හා දමන යන ප්‍රාදේශීය සභා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබේ.

මෙවර මැතිවරණයේදී කාන්තා අපේක්ෂිකාවන්ටද වැඩි අවස්ථාවක් දී ඇත. කාන්තා නියෝජනය පළාත් පාලන ආයතනයකට පත්වන මුළු සභික සංඛ්‍යාවෙන් 10%ක් විය යුතුය. එම ප්‍රතිශතය තෝරා ගැනෙන්නේ පළමු නාම යෝජනා පත්‍රයට අනුවයි. දෙවැනි සමානුපාතික අතිරේක නාම යෝජනා පත්‍රයට අනුව අපේක්ෂකයන්ගෙන් 50%ක් කාන්තාවන් විය යුතුය. එනම් කාන්තා සභිකයින් දෙදහසකට අධික වනු ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය ලබාදීම සඳහා 15760867ක් සුදුසුකම් ලැබ සිටියහ. දේශපාලන පක්ෂ 43ක් සහ ස්වාධීන කණ්ඩායම් 222ක් තරග වැදුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *