පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධුර කාලය පිළිබඳව විවිධ මාධ්‍ය හා විවිධ සංවිධාන විවිධ අදහස් ඉදිරිපත් කරන අතර, මේ පිළිබඳව ඇතිවී ඇති ව්‍යාකූලත්වය නිවැරදි කිරීම සඳහා පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්. ටී. කමල් පත්මසිරි මහතා මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව 2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ වීම සහ මැතිවරණයෙන් තේරී පත්වූ අපේක්ෂකයින් සම්බන්ධනීතිමය තත්ත්වය පහත පරිදි වේ.

2016 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 65ආ වගන්තිය සහ 66වගන්තිය දක්වන පරිදි පළාත් පාලන ආයතනයේ සභිකයන් වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ සහ තෝරා යවනු ලබන අපේක්ෂකයන්ගේ නම් නිශ්චිතව සඳහන් කරනු ලබන දැන්වීමක් පලකල යුතු අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එකී නම්, වහාම ගැසට් පත්‍රයේ පළ කළ යුතුය.

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය ආරම්භ වීම.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පල කරනු ලබන නියමයක් මගින් පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය 2018.03.06 වන දින සිට ආරම්භ විය යුතු බවට නියම කර ඇත. ඉහත වගන්තීන් යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් තෝරා පත්කර ගනු ලැබූ සභිකයින් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කරන ගැසට් නිවේදනයක් මඟින් 2018.03.06 වන දින සිට ඒ ඒ සභාවල සභිකයින්ගේ ධුර කාලය ආරම්භ වන බව නිවේදනය කරනු ලැබේ.

සභාපතිවරයා/නගරාධිපතිවරයා පත් කිරීම‍

මෙහිදී යම් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් යම් පළාත් පාලන ආයතන ආසන සංඛාවෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අදාල දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගෙන් හෝ ස්වාධින කණ්ඩායමේ නායකයාගෙන් එම පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ තේරී පත්වූ සභිකයන් අතරින් සභාපති/ උප සභාපති, නගරාධිපති / නියෝජ්‍ය නගරාධිපති නිශ්චය කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.

යම්කිසි පළාත් පාලන ආයතනයක සමස්ථ ආසන සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා ගැනීමට අසමත්ව ඇති අවස්ථාවකදී එම පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේදී නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා සභිකයන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතුය.මෙම රැස්වීමෙහි මුලසුන පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් දැරිය යුතුය.

සභාපති/නගරාධිපතිපත්කරගැනීමේ ක්‍රමවේදය.

01. පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මුලසුන දරන රැස්වීමේදී සභිකයින්ට ඡන්දයෙන් සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ බලය හිමි වේ.

02. මෙහිදි ඡන්දයෙහි ස්භාවය (රහස් ඡන්දයක්ද/ විවෘත ඡන්දයක්ද යන්න) සභිකයින් තීරණය කල යුතුය.
සභිකයන් මුළු සංඛ්‍යාව නොසිටීම

තවද නියමිත සම්පූර්ණ සභික සංඛ්‍යාව යථා පරිදි තෝරා පත් කර ගෙන නොමැති අවස්ථාවකදී වුවද, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් සභාවක ධූර කාලය ආරම්භ කරනු ලබන බවට ප්‍රකාශ කරනු ලබන දිනක සිට, සභාව සංස්ථාපනය කරනු ලැබීමට හැකිවනු පිණිස පළාත් පාලන ආයතන ප්‍රධාන අණපනත් වල නෛතිකමය ප්‍රතිපාදන සැලසී ඇති බැවින් මැතිවරණ කොමසාරිස් විසින් තෝරා ගත් සභිකයින් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගම සභාවල ධුර කාලය ආරම්භ වීමට බාධාවක් නොමැත.
පක්ෂ මාරු කිරීමට ඇති ඉඩකඩ නොමැති වීම
පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 වන අ වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත් වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන්ව ඇති බව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධුරය අවසන්කර ඇති බවට ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත.එබැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ මෙම ප්‍රතිපාදනය පක්ෂ මාරු වීම් නවතා දැමීමට ප්‍රතිපාදන සලසයි .

කාන්තා නියෝජනය

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය පිළිබඳව මේ වන විට විවිධ තොරතුරු සාකච්ඡාවන අතර, ඒ පිලිබඳව අමාත්‍යාංශයේ ස්ථාවරය පහත පරිදි වේ.

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සහ එහි මෙතෙක් සිදු කරන ලද සංශෝධන පදනම් කරගෙන පවත්වන ලද ඡන්ද විමසීමක් වන බැවින් එකී නීතිය යටතේ ඒ ඒ පළාත් පාලන ආයතන වෙත තේරී පත් වීමේ නෛතිකමය අපේක්ෂාවක් සහිතව අපේක්ෂකයින්ගේ නාම යෝජනා ඉදිරිපත් කර ඇත.

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වන සේ එකී පනතෙහි සංශෝධන අතීතයට බලපාන පරිදි සිදු කිරීමට නෛතිකමය බාධාවක් පැනනගින බැවින් සභිකයන් තෝරා පත්කර ගැනීම සහ තෝරා යැවීමට අදාළව යම් ප්‍රායෝගික ගැටළු උද්ගත වේ නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදි කර ගැනීමේ හැකියාවක් මිස පැවති ඡන්දය සඳහා අදාළ වන සේ එකී සංශෝධන සිදු කළ නොහැකි බව අමාත්‍යාංශය නිරීක්ෂණය කර ඇත.

මෙකී කරුණු සැලකිල්ලට ගෙන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව දැනට පවත්නා නීතිය අදාළ කර ගැනීම සුදුසු බව වැඩිදුරටත් නිරීක්ෂණය වී ඇත.

මේ සම්බන්ධව ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේ ගනු ලැබූ තීරණයක් පරිදි පවත්නා නීතිය එලෙසම ක්‍රියාත්මක කිරීමටත් එහිදි යම් ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වී ඇත්නම් සහ අනාගතයේදී ඒ පිළිබඳව අධිකරණය විසින් යම් තීරණයක් ගනු ලැබුවහොත් එකී තීරණ මත ඉදිරි පියවර ගැනීම සුදුසුබවටත් සාකච්ඡා වූ අතර ඒ අනුව, ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍යාංශයට සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *