සයිටම් සිසුන් බඳවා ගන්නා වැඩපිළිවෙළ ගැන සාකච්ඡා

(කොළඹ, ලංකාපුවත්) –සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සම්බන්ධ කර පවත්වාගෙන යාමට රජය ගත් තීරණයෙන් පසු එම කටයුතු සිදු කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් ඊයේ (22) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙහිදී සාකච්ඡා කළයුතු කරුණු රැසක් ඇති බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවනු ඇති බවත් එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට සිසුන් බඳවා ගැනීමේ දී ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු සුදුසුකම වන්නේ අපොස උසස් පෙළ විභාගයෙන් විද්‍යා අංශයෙන් සමත් වී ඉහළ ඉසෙඩ් අගයක් තිබීමයි. රජයේ සෙ‍සු විශ්වවිද්‍යාලවලට වෛද්‍ය සිසුන් බඳවා ගන්නා පරිපාටියට සමාන පරිපාටියක් මෙහි ද අනුගමනය කරයි.

ඊට අමතරව තවත් සුදුසුකම් කිහිපයක් තිබිය යුතු වෙයි. මෙහිදී සයිටම් විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සම්බන්ධ කර ගන්නා සිසුන්ගේත් එම සුදුසුකම් තිබිය යුතු ද යන්න සොයා බැලීමට සිදුවන බව එම ප්‍රකාශක හමුදා නිලධාරියා පැවසීය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් වෛද්‍ය උපාධිය සඳහා අය කරන මුදල් ප්‍රමාණය සහ සයිටම් ආයතනය වෛද්‍ය උපාධිය සඳහා අය කළ මුදල් ප්‍රමාණය වෙනස් ප්‍රමාණයකි. එවැනි කරුණු සම්බන්ධයෙන් මෙන්ම අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන ආකාරය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව සාකච්ජා කිරීම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්යවරු, ආචාර්යවරු ඉදිරි දින කිහිපයේ දී සිදුකරති.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මේ වන විට දෙස් විදෙස් වශයෙන් මහත් කීර්තියට පත් සිසුන්ගේ විනය අතින් ඉහළම තැනක පවත්වාගෙන යන ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයකි එම විශ්ව විද්‍යාලයේ පාඨමාලා කටයුතු ඉතාමත් සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුව උපාධිය සඳහා නියමිත කාලයේ දී සියලු පාඨමාලා අවසන් කර උපාධිය ආරම්භයේදීම එය අවසන් වන කාලය නියම කර ඒ අනුවම එම පාඨමාලා අවසන් කර උපාධි ප්‍රදානෝත්සවය ද නියම කරගත් දිනයේම ස්ථිර වශයෙන්ම සිදුකරන ආකාරයට සියලු කර්තව්‍යයන් ඉතාමත් විධිමත් වැඩ පිළිවෙළකට අනුව සිදු වෙයි. තවද එම විශ්වවිද්‍යාලයේ රැග් කිරීම් විරෝධතා පෙළපාළි ආදී කිසිවක් නොමැතිවීම ද සුවිශේෂි තත්ත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *