(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් මත් උවදුර තුරන් කිරීම සඳහා සියලු අංශවල ශක්තිය යොදා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන සැමරුම සහ 74 වන මූලික පුහුණු පාඨමාලාවේ ආධුනික නිලධාරීන් විසිරයාමේ උත්සවය ඊයේ(27) පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසල වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි විශේෂ කාර්ය බලකා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පුහුණු පාසලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පොලීසිය ඇතුළු සියලු අංශවල සහාය තමන් අපේක්ෂා කරන බවයි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
” ආණ්ඩුවක් හැටියට 2015 ඉදන් පොලිස් සේවා ශක්තිමත් කරන්න, දියුණු කරන්න අපි මහන්සි අරගෙන තියනවා..අපිට ආඩම්බර වෙන්න පුලුවන් දැන් ඔබේ බලකායෙන් කොටසක් එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ මාලි වැඩ කටයුතු වල යෙදුණු එකට ..ඒ ලෝකේ පිළිගැනීමක් ..අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා දැන් හැම ගමකම මත්ද්‍රව්‍ය තියනවා ..එදා අපේ බෝම්බයකින් ජීවිත ස්වල්පයක් නැති වුණා…අද මත්ද්‍රව්‍ය නිසා අපිට අනාගත පරපුර නැති වුණා …ඒ නිසා මත්ද්‍රව්‍ය පාලනය කිරීම ප්‍රධාන කාර්යක් හැටියට සලකන්න කියලා උන්වහන්සේ මට කිව්වා..අන්න ඒ වැඩ කටයුත්තත් ඔබලට භාර දීලා තියෙනවා …පොලීසියත් හමුදාවත් නාවික හමුදාවත් ඒවගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් ,අධ්‍යාපන අමාත්‍යාංශය,යෞවන කටයුතු අමාත්‍යාංශය මෙහෙම ගනනාවක් එක්ක ක්‍රියා කරන්න තියනවා..මේ සියල්ලම පාලනය කරන්න…අපි විශේෂයෙන්ම පොලීසිය සමඟ මේ බලකායත් යොදවන්නේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනා කිරීමට මේ සියලු දෙනාම ලිහිල් කරනේ නැතුව කාටවත් අවස්ථා දෙන්නේ නැතුව මේ තියන උවදුර මෙතනින් නැති කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ ..ඒ වැඩ කටයුත්ත විශේෂයෙන්ම එක ඔටසක් ඔබේ බලකායටත් තියනවා…”
ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 169 දෙනෙකු , සැරයන්වරු 18 දෙනෙකු හා අනුඛණ්ඩ භාර උප පොලිස් පරීක්ෂකවරුන් 18 දෙනෙකු මෙහිදී විසිර ගියහ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිලිණයක් පිරිනැමීය. තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.