ශ්‍රී ලංකාව දුප්පතුන්ට මිත්‍රශීලීව ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක බැංකුව අගයයි

(කොළඹ, ලංකාපුවත්) – අඩු වියදමක් යටතේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලැබූ වර්ධනය ලෝක බැංකුව ඇගයීමට ලක් කර තිබේ.

විශ්වීය සෞඛ්‍ය පිළිබද අධ්‍යයනයක නිරත වූ ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.මධ්‍යම ආදායම් ලබන රටවල් හා සැසදීමේ දී මහජන සෞඛ්‍ය සේවාවේ යහපත් ප්‍රතිඵල අත් කරගෙන ඇත්තේ සුලු රටවල් කිහිපයක් පමණි. මෙවැනි ශක්තිමත් සෞඛ්‍ය ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිව ඇත්තේ හොද, නිවැරදි, ආරක්ෂාව සහ අවම වියදමක් යටතේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සාර්ථව ඉදිරියට ගමන් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇගයීමට ලක් කරනු ඇත. අවම වශයෙන් වසර 50 ක කාලයක් තුල මාතෘ සෞඛ්‍ය, ළදරු සෞඛ්‍ය, බෝනොවන රෝග පාලනය පිළිබදව ශ්‍රී ලංකාව යහපත් ප්‍රතිඵල ලගා කර ගැනීම ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව ඇත. සෞඛ්‍ය සේවාව විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම අනෙක් රටවලට ද ආදර්ශයක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය 1930 සිට නොමිලේ සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදෙයි. රටපුරා ඉතාමත් සැළසුම් සහගත සෞඛ්‍ය ජාලයක් ක්‍රියාත්මකය. මධ්‍යම රජය සහ පළාත් සභා ඒකාබද්ධව සෞඛ්‍ය සේවාවන් විධිමත්ව සිදු කරයි. ප්‍රතිශක්තීකරණය ලබාදීම අතින් සියයට 100 ක සාර්ථකත්වයක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත. වයස් ගත ජන කොට්ඨාසය වැඩිවීම අභියෝගයක් වුව ද ඊට මුහුණ දීමට රජය පියවර ගෙන ඇත. 2015 අග වන විට දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් හා සැසදීමේ දී ළමා මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන කළමණාකරණය ද ඉතා වැදගත්. ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ස්ථාවර වර්ධනයක් ද දක්නට ලැබේ.

ලෝක බැංකු වාර්තාව පිළිබද අදහස් දැක්වු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ දියුණුව පිළිබදව අගය කිරීම විශිෂ්ට ජයග්‍රහණයක් බවය. “මධ්‍යම ආදායම් ලාභී රටවල් හා සැළකීමේ දී ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීම අගය කළ යුතු කරුණකි. ශ්‍රී ලංකාව රෝගීන්ට මුල්‍යමය ආරක්ෂාවක් ලබාදී ඇති බවත්, දුප්පතුන්ට මිත්‍රශීලි නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා දී ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කිරීම අගය කළ යුතු කරුණක්. එම නිසා රටක අධ්‍යාපනය සහ සෞඛ්‍ය නංවාලීම ඉතා වැදගත් බව ලෝක බැංකුව පිළිගෙන තිබෙනවා. එම නිසා බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.” එමගින් බෝනොවන රෝග පාලනය කිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *