ළමුන් 1000 ට වැඩි සියලු පාසල්වලට පරිපාලනයේ පහසුව සඳහා ඉදිරියේදී කළමනාකාරවරු

(කොළඹ, ලංකාපුවත්) – පරිපාලනයේ පහසුව සඳහා ළමුන් 1000 ට වැඩි සියලු පාසල් වලට ඉදිරියේ දී කළමනාකාරවරුන් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා පැවති කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට එක්වෙමිනි.

ළමුන් 1000 ට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු ද, ළමුන් 2000 ට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු මෙන්ම තවත් සහකාර කළමනාකාරවරයෙකු ද පත් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අදාළ කළමනාකාරවරුන් පාසලේ පරිපාලන කටයුතු සඳහා සෘජුවම මැදිහත් වන අතර විදුහල්පතිවරයා හට පාසලේ ප්‍රධානියා ලෙස කටුයුතු කරමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අවස්ථාව මේ තුළින් හිමි වනු ඇත. විදුහල්පතිවරුන් සහ අධ්‍යාපනඥයින් කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය. බහුතර ගුරුවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් තීරණය කළ බවත්, කෙතරම් විරෝධතා පැමිණිය ද එය සිදුකළ යුත්තක් බැවින් එම ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැහැදිලි කරන ලදි.

අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ, විධිමත් ක්‍රමවේදයන් අනුව ගුරු වෘත්තිය සංගම් වල සමාජිකත්වය ද සහභාගී කරගනිමින් ගුරුමාරු මණ්ඩල හරහා එම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි. ගුරුමාරුවීම් වලදී අදාළ ගුරුවරුන්ගේ පදිංචිය ඇතුළු තවත් කරුණු රැසක් මූලිකව සලකා බලමින් එම මාරුවීම් සිදු කරන බවත් අදාළ මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා සිදුකිරීමේ අවස්ථාව ද අදාළ ගුරුවරුන් වෙත පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *