ගැටුම් විමර්ශනයට රහස් පොලිස් කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – තෙල්දෙණිය, දිගන, පල්ලේකැලේ ප්‍රදේශවල ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සහ තරුණයකු මිය යාම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගය පරිදි රහස් පොලිස් කණ්ඩායමක් ඊයේ (06) එම ප්‍රදේශයට යවා තිබේ.

තෙල්දෙණිය ඉන්ධන පිරවුම්හලක් අසලදී කිසියම් පිරිසකගේ පහරකෑමකට ලක්ව දෙදරු පියකු මිය යෑමේ සිද්ධියකින් පසුව තෙල්දෙණිය, දිගන ඇතුළු ප්‍රදේශවල ඉකුත් දිනවල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ වන විට සාමාන්‍ය තත්ත්වයට හැරී තිබිණි.

ඊයේ දිනයේදී මෙම සිද්ධියට අදාළ කිසිදු සිදුවීමක් මහනුවර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා නොවූ බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එන්. සිසිර කුමාර මහතා පැවසීය.

පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව යොදවමින් ඊයේ දිනයේද තෙල්දෙණිය, දිගන ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාව තරකර තිබිණි. මේ අතර තෙල්දෙණිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශ හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් පොලිස් බලප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත්කර තිබුණු අතර එම පොලිස් බලප්‍රදේශ දෙකෙහි ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කර තිබිණි.

පෙරේදා (05) දිනයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ දිගන නිල ගම්මානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන නිවසක ඇතිවූ ගින්නකින් අතුරුදහන්ව සිටි 28 හැවිරිදි තරුණයකුගේ මළසිරුරක් ඊයේ (06) පෙරවරුවේ සොයා ගැනුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

එම මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (06) මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරිය සිදුකරමින් සිද්ධියට අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ‍ගන්නා ලෙසත්, එයට අදාළ කරුණු ලබන 09 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව ඉකුත් දින කීපයේ නිවෙස් හා දේපළවලට අලාභහානි කරමින් හැසිරුණු පුද්ගලයන් විසිහතරදෙනකු ඊයේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

තෙල්දෙණිය නගර‍ෙය්දී පසුගිය 03 වැනිදා ත්‍රිරෝද රථයක්, ලොරි රථයක ගැටීමෙන් අනතුරුව ලොරිය පලාගොස් තිබිණි. ත්‍රිරෝද රථයේ සිටි පිරිස ලොරි රථය හඹාගොස් රියැදුරු අල්ලා පහරදීමෙන් බරපතළ ලෙස තුවාලලත් ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

රියැදුරු එසේ මිය යෑමෙන් පසු අරගලකාරී තත්ත්වය ඇතිවී තිබේ. එම සිද්ධිය පෞද්ගලිකව දෙපිරිසක් අතර ඇතිවූ එකක් බැවින් පහරදුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවරගෙන ඇති බවත්, මෙම ප්‍රශ්නය අරගලයක් බවට පත්කර ගැනීම සහ තවත් පිරිස් ඊට සම්බන්ධවී උසිගැන්වීමෙන් කටයුතු කිරීම අනුවණ ක්‍රියාවක් බව පොලිසිය කියයි.

මේ අතර ඇඳිරි නීතිය පවතින කාලය තුළ ඒ බව නොතකා කටයුතු කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.

රහස් පොලිසියට අමතරව තෙල්දෙණිය, පල්ලේකැලේ ඇතුළු පොලිසි ද මේ සම්බන්ධව කටයුතු කරයි.

මේ අතර දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ සෝදිසියකදී පුද්ගලයන් තිදෙනෙකු පෙට්‍රල් බෝම්බ 13 ක් සමඟ පෙරේදා (05 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර විවිධ සංවිධාන හා පුද්ගලයන් ගෙන යන කටකතාවලට නොරැවටී සන්සුන්ව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *