අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 මාර්තු 08 වන දා කළ විශේෂ ප්‍රකාශය

මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ පැවති තත්වය පිළිබඳව මා එදිනම විශේෂ ප්‍රකාශයක් සිදු කළා. තවදුරටත් ඊයේ රාත්‍රියේ සහ අද දින පවතින තත්වය පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරීම සුදුසු යැයි මම කල්පනා කළා.

ඊයේ සවස හා රාත්‍රී කාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට, අලවතුගොඩ හා පූජාපිටිය ප්‍රදේශවල කලහකාරී සිද්ධීන් වාර්තා වුණා. ඇඳිරි නීතිය පැනවීම තුළ තත්වය පාලනය කිරීමට හැකියාව ලැබුණා. මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිදු ස්ථානයකින් සිදුවීම් වාර්තා වුණේ නැහැ. අද උදෑසන 10.00 ට ඇඳිරි නීතිය ඉවත්කරනු ලැබුවේ සාමාන්‍ය ජන ජීවිතයට වන බලපෑම අඩු කිරීමටයි. තත්වය පාලනය කිරිම පහසුවීම පිණිස මහනුවර දිස්ත්‍රික්කයට අද සවස 6.00 සිට උදෑසන 6.00 දක්වාත් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළා.

මහනුවර දිස්ත්‍රිකයෙන් පිටත වැලිගම, ගිරිඋල්ල හා කුරුවිට ප්‍රදේශවල ගල් ගැසීම් වැනි සුළු සිදුවීම් තුනක් වාර්තා වුණා. රටේ අනෙකුත් ප්‍රදේශවල තත්වය සාමකාමීව පැවතුණා.

දැනට අපට පෙනී ගොස් ඇති අන්දමට මෙම සිදුවීම් මෙතරම් දිග්ගැස්සුණේ වෛරය පතුරුවන පණිවුඩ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කිරීම නිසයි. ඒ නිසා අපි මේ සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කළා. සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචණ්ඩත්වය හා වෛරය පැතිරවීමට කටයුතු කළ කිහිප දෙනෙකුගෙන් පොලිසිය දැන් ප්‍රශ්න කරගෙන යනවා.

මගේ නිර්දේශය මත ගරු ජනාධිපතිතුමා විසින් අද දින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ගරු රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා පත් කළා. ඒ අනුව එතුමා විසින් පූර්ණකාලීනව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. අද උදෑසන මා නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යතුමා, ආරක්ෂක ලේකම්තුමා, නීතිය හා සාමය පිළිබඳ ලේකම්තුමා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා සමඟ වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කළා. ඒ අනුව ගත යුතු පියවර පිළිබඳව තවදුරටත් උපදෙස් දුන්නා. මහනුවර දිස්ත්‍රික්කයේ ආහාර සැපයුම බාධාවකින් තොරව අඛණ්ඩවම පවත්වාගෙන යාම සඳහා අදාල අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම හානියට පත් ජීවිත හා දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කොට තිබෙනවා. එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අප කටයුතු කරනවා.

කඩාකප්පල්කාරීන් සුළු පිරිසක් විසින් සිදුකරන ලද මෙවැනි අනුවණ ක්‍රියාවන් නිසා සමාජීය හා ආර්ථික වශයෙන් රටට සිදු වූ හානිය ඉතා බරපතලයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ද අපකීර්තියට පත්වීමට අපට සිදු වුණා. ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයින් දැඩි ලෙස අපහසුතාවට පත්වුණා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරකකර්මාන්තයට විශාල පහරක්.

මෙම සිද්ධීන් ඉතා කුඩා පිරිසක් සංවිධානාත්මක ලෙස ඇති කරන ලද තත්වයක්. සමස්තයක් වශයෙන් රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට සහජීවනයෙන් ජීවත්වීමට බාධාවක් ඇති වී නැහැ. අවුරුදු 30 ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමටයි. රටේ ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම රජයක් වශයෙන් අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්. අප ඒ සඳහා කැපවී ක්‍රියාකරනවා.

එබැවින් අවසන් වශයෙන් මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමට කැපවන ලෙසයි. අප සියලු දෙනා එක රටක් ලෙස, එක ජාතියක් ලෙස කටයුතු කරමින් මෙම අවාසනාවන්ත තත්වයෙන් මිදීමට පියවර ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *