සෑම දිස්ත්‍රික්කයකටම ආරක්‍ෂක කමිටු

(කොළඹ, ලංකාපුවත්) – සෑම දිස්ත්‍රික්කයකම ආරක්‍ෂක කමිටු ඇති කිරීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

රටේ කොතැනක හෝ කුමන හෝ ආකාරයක සිද්ධියක් ඇති වුවහොත් ඒ ගැන සොයා බලා කටයුතු කරන ලෙස දිසාපතිවරුන් මගින් සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට ද උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කරන ලද්දේ පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්‍ෂක කමිටු රැස්වීමේ දී ය. මෙම රැස්වීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“රජයක් හැටි‍ය‍ට අපි අවබෝධ කරගෙන ඉන්නවා ඉදිරියේ දී ඕනෑම ගැටුමක්, නරක සිදුවීමක් හුදෙකලා නොකර වහාම ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට. එමගින් පොඩි රණ්ඩුවක් ජාතිවාදී අරගලයක් බවට පත්වීම වළක්වා ගන්න පුළුවන්.

ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් උපදෙස් මත මා සියලුම දිසාපතිවරුන්ට මේ ගැන අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඉදිරියේ දී ඒ අනුව ක්‍රියාකරනවා. සියලුම දිස්ත්‍රික්කවල ආරක්‍ෂක කමිටු පිහිටුවන්නත් අපි උපදෙස් දී තිබෙනවා. එමගින් ඉදිරියේ දී රටේ මේ වගේ අවාසනාවන්න සිදුවීම් වළක්වාගත හැකි වේවි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *