අඩු පීඩන තත්වය අරාබි මුහුද දෙසට – ගිගුරුම් සහිත වැසි තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අහස වලාකුළින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනට දකුණු දෙසින් පැවති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට නිරිත දෙසින් පවතිනවා. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව බස්නාහිර දෙසට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

උතුර සහ උතුරු මැද පළාත් වලත් ගාල්ල, මාතර, මාතලේ සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.

නැගෙනහිර, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල (මි.මි 75-100 අතර) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

දිවයිනට දකුණු දෙසින් පැවති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට නිරිත දෙසින් පවතී. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව බස්නාහිර දෙසට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
සුළං ගිනිකොණ සිට නැගෙනහිර දක්වා වූ දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.
මාතර සිට ගාල්ල හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශවල විටින් විට තරමක් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *