රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන විහාරස්ථාන 12000ක් ගොඩ නැගීමේ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) –රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන විනාශ වෙමින් පවතින වෙහෙර විහාරස්ථාන දොළොස් දහසක් ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීත් වෙහෙර විහාරස්ථාන 1000ක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

කටුපොත පොල්පිටිය අග්‍රබෝධි පුරාණ රජමහා විහාරයේ සංඝාවාසය සඳහා මුල්ගල තැබීම සඳහා එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කියා සිටියේය.

සංඝාවාසය ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “සසුනෝදය” වැඩසටහන යටතේ ලබා දී තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමී ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව “පින් බිම් 12,000ක් යළි අස්වද්දන මහා ජාතික මෙහෙවර” යන තේමාව පෙරදැරිව “සසුනෝදය” වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පරිපාලන සහ මුල්‍ය කටයුතු විධිමත් කිරීමට පියවර ගෙන ඇති බැවින් මෙරට ඓතිහාසික ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයින්ට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය කරගැනීමට හැකි වූ බව පවසන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, ඒ අනුව විහාරස්ථාන ප්‍රතිසංස්කරණ සහ සංරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීමේ “සසුනෝදය” වැඩසටහනට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වූ බව ද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *