ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජපාන-ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෝ ප‍්‍රතිඥා දෙති

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමේදී හැකි සෑම අවස්ථාවකම ණය නොවන අධාර ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව ඊයේ (14) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ජපානය ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ලබාදෙන සහය අඛණ්ඩව ඉදිරියට ලබාදෙන බවට ද මෙහිදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

එහිදී වරාය සංවර්ධනයට ප‍්‍රමුඛත්වයක් ලබාදෙන අතර, දැනටමත් කොළඹ සහ ති‍්‍රකුණාමල වරායේ සංවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන සහය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

ශ‍්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනය සඳහා අවශ්‍ය සහය තවදුරටත් ලබාදීමට සූදානම් බව පැවසූ ජපාන අග‍්‍රාමාත්‍යවරයා අධිවේගි මාර්ග පද්ධතියේ ඉදිකිරීම සඳහා ද සහය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ජපානයේ විශේ්ෂ වූ කාර්මික වැඩසටහන්වල දායකත්වය ශ‍්‍රී ලංකාවට ලබාදීමට හැකි බව ද ජපාන අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාගැනීම සඳහා සහය වන ලෙස ජනාධිපතිතුමා ජපාන අග‍්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප‍්‍රතිචාරය පළ කෙරණි.

ශී‍්‍ර ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සඳහා සහය ලබාදීමට ද ජපාන අග‍්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළේය.

ආරක්ෂක සහ නාවික කටයුතුවලදී ජපානය ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය මෙහිදී සිහිපත් කළ ජපාන අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය සාගර කලාපයේ රටවල් අතරින් ජපාන රජයේ එම සහය හිමිව ඇත්තේ ශී‍්‍ර ලංකාවපමණක් බව ද කියා සිටියේය.

ඒ පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී ජපාන රජය සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ අතර, ශ‍්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේ රාජ්‍ය අංශයේ පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සඳහන් කළේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය සමග ශී‍්‍ර ලංකාව සහ ජපානය අතර අතීතයේ පටන් පවතින සමීප මිත‍්‍රත්වයේ තවත් නැවුම් පියවරක් සනිටුහන් වනු ඇති බවයි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් කිරීම පිළිබඳ ජපාන අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා පසුගිය ජී-7 සමුළුවෙන් ශක්තිමත් වූ ජපාන – ශ‍්‍රී ලංකා සබදතාවලට මෙම සංචාරයෙන් අනතුරුව තවත් තිර පදනමක් සැකසෙනු ඇති බව කියා සිටියේය.

එමෙන්ම පසුගිය ජී-7 සමුළුවේ සාර්ථකත්වය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඒ පිළිබද ජපාන අග‍්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.

ඊයේ දින අකිහිතෝ අධිරාජ්‍යයා බැහැ දුටු අවස්ථාව ද ගෞරවයෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා එහිදී එතුමා විසින් සිදුකරන ලද ආදරණීය සහ උණුසුම් පිළිගැනීම පිළිබදව ද තම කෘතවේදිත්වය පළ කළේය.

නුදුරු දිනකදීම ශී‍්‍ර ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිතුමා ජපාන අග‍්‍රාමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනය මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

රාජ්‍ය නායක දෙපළ අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡුා අවසානයේ ජපාන- ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවා කි‍්‍රයාවට නැංවීම පිළිබඳ නව ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ටෝකියෝ නුවර පිහිටි ජපාන අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිත නිල පිළිගැනීමේ උත්සවය ඉතා අභිමානවත් අයුරින් පැවැත්වුණේ දෙරටේ බැදීම මැනවින් විදාහ දක්වමිනි.

නිල පිළිගැනීමේ උත්සවය අවසානයේ නායක දෙපළ සුහද කතා බහකට එක්විය.

අනතුරුව ජපාන අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස ප‍්‍රධාන සාකච්ඡුා ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර එහිදී නායකයින් සමූහ ඡුායාරූපයකට ද පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *