ෆේස්බුක් නියෝජිතයින් සමඟ සාකච්ඡා අද

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමඟ සාකච්ඡවක් ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවැත්වීමට නියමිතය.

ෆෙස් බුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයන දැක්වේ.

මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීමෙන් පසුව රජය සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව නතර කර දැමීමට කටයුතු කළේ ය.

මාර්තු 13 දින මධ්‍යම රාත්‍රියේ සිට වයිබර් සන්නිවේදන ජාලය යළි ක්‍රියාත්මක කළ අතර ඊයේ (14) රාත්‍රී 12.00 සිට වට්ස්ඇප් යළි සක්‍රීය කිරීමට ද පියවර ගත්තේ ය.

සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප‍්‍රතිරූපවලට හානිකිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කරනු ලැබේ.

එසේම, රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් මෙවැනි කි‍්‍රයාවන්ට වරදකරුවන් වන අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *