සෞදි අරාබියේදී වෙඩි වැදී මිය ගිය කාන්තාවගේ පවුලට සහන ලබාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තා ජයසේකරගේ නිවසට ගිය විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඔවුන්ගේ පවුලේ තත්වය සොයා බලා ඇගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සහතික විය.

මිය ගිය කාන්තාවගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය සියලුම සහාය ලබාදෙන ලෙසද මෙහිදී ඇමැතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන්නේය. මේ අතර පවුලේ අය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද මෙහිදී සිදුකරනු ලැබීය.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

මේ සිදුවීම ගැන අපි කණගාටුවට පත් වෙනවා. මේ අවස්ථාවේදී අපිට කළ යුතු සියලුම මැදිහත්වීම් කරනවා. මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරනවා. මේ දේහය ලංකාවට ගෙන්වා ගැනීම අපේ මූලික පියවරයි. ඉන් පසුව පවුල වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් වන්දි ලබාගැනීමට කටයුතු කරනවා.

මේ රටවල නීතියක් තිබෙනවා. ඒ නීතිමය රාමුව ඇතුලේ කළ හැකි සියලුම දේ කරමින් හැකි ඉක්මනින් දේහය ලංකාවට ගෙන්වා ගන්නවා. ඒ වගේම ලබාදිය හැකි සුභසාධන පහසුම් සියල්ලම ලබාදෙනවා.

ගෘහ සේවිකාවන් ලෙස විදේශගතවීම් අධෛර්යමත් කිරීමට අපි සෑම විටම කටයුතු කරනවා. ලංකාවට වැඩිම විදේශ ආදායමක් විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙනවා. මේ ශ්‍රමිකයින්ට විදේශ රටවලදී මුහුණදීමට සිදුවන කණගාටුදායක සිදුවීම් අවම කිරීමට අපි ගත යතු සියලුම පියවර ගන්නවා.

මෙහිදී අදහස් දැක්වූ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේ පැවසීය.

මේ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ගත යුතු සියලුම පියවර අපි ගන්නවා. කලබලවෙලා හදිසිවෙලා ඉක්මනින් දේහය ගෙන්වා ගන්නවා වෙනුවට ගත යුතු සියලුම පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගැනීමෙන් පසුව කඩිනමින් දේහය ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා.

මේ කාන්තාව මිය යාමෙන් පසුව දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කළ හැකි සියලුම දේ රජයක් විදියට සහ පුද්ගලිකව කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *