ගැති නොවී ක්‍රීඩා මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන්න – ඇමති දයාසිරි

(කොළඹ, ලංකාපුවත්) – ඇතැම් පුද්ගලවාදීන්ට හෝ ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට ගැති නොවී ක්‍රීඩා මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන්නැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර සිටියි.

අමාත්‍යවරයා මේ ඉල්ලීම සිදු කරන ලද්දේ ක්‍රීඩා අමාත්‍යංශයේ අද(20) පැවැති ක්‍රීඩා මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැති වැඩමුළුවක් අමතමිනි.

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් එය සංවිධාන කර තිබුණි. ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වීමට උනන්දුවක් දක්වන ආදුනිකයින් ද ඉලක්ක කර ගනිමින් එය පැවැත්වුණි. තොරතුරු දැන ගැනීමේ පනත හා මාධ්‍ය භාවිතයේ නව ප්‍රවණතා සහ ක්‍රීඩා සාහිත්‍ය ඇතුළු මාතෘකා කිහිපයක් ඔස්සේ වැඩමුළුව පැවැත්වුණි.

මෙම අවස්ථාවේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරනු ලැබුවේ ක්‍රීඩාව වෙනුවෙන් නිවැරදි වාර්තාකරණයක් සිදු කරන ලෙසයි. එවැනි මාධ්‍යවේදීන් වෙනුවෙන් තමා පෙනී සිටින බවද හෙතෙම සදහන් කළේය.

එසේම ක්‍රීඩා මාධ්‍යවේදීන් වඩාත් ගවේශනශීලී විය යුතු බව පැවසු ඇමතිවරයා, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගැටළු ඇත්නම් පෙන්වා දෙන ලෙස ද කියා සිටියේය.

තමන් උදෑසනම පුවත්පත්වල ක්‍රීඩා පිටුවේ ඇති ගැටළු පුවත් මුලින්ම බලන බවත් ඒ අනුව ක්‍රියාත්මක වන බවත් එසේ නොමැතිව ඇතැම් දේශපාලඥයින් මෙන් තමාගේ ඡායාරූප ඇද්දැයි නොබලන බවත් දයාසිරි ජයසේකර ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *