කාලයට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා තැපෑලේ වෙනස්කම් කරනවා – ඇමති හලීම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා තැපෑල ලාභ උපයන ආයතනයක් නොව මහජනතාවට සේවා සපයන ආයතනයක් බව තැපැල්,
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා පැවසීය.

ඇමතිවරයා මේ අදහස් පලකලේ ඩි.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මුලස්ථාන තැපැල් කාර්යාලයේ e- Pay Mobile Cash සේවාව ආරම්භ කරමිනි.

මහජන සේවාව සපයන අතරේ විවිධ සේවාවන් ක්‍රියාත්මක කරමින් තැපෑල යම් ලාභයක් උපයන බවද ඇමතිවරයා කියා සිටියේය. තැපැල් දෙපාර්තමේන්තුව විවිධ සේවාවන් ගණනාවක්ම රාජ්‍ය හා පෞද්ගලික අංශය සමග එක්වී ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අතර ඊයේ (20) සම්පත් බැංකුව සම එකතුවී e- Pay Mobile Cash සේවාව ආරම්භ කළේය.

යමකු තැපැල් කන්තෝරුවේ මුදල් ඇනුවම් සේවාව මඟින් මුදල් තැන්පත් කල පසු එසැනින් රටේ විවිධ ස්ථානයන්හි සවිකර තිබෙන සම්පත් බැංකුවේ ටේලර් මැෂින් මඟින් මුදල් ලබගන්නාට අදාල මුදල් ලබා ගැනීමට හැකියාව ලබාදී ඇත. මෙය ජනතාවට ඉතාම පහසු ක්‍රමයක් බවඳ ඇමතිවරයා පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුව යනු රට පුරාම පුළුල් ජාලයකින් ක්‍රියාත්මක වන ආයතනයකි. විවිධ අඩුපාඩුකම් පැවතියද නව තාක්ෂණය භාවිතා කරමින් මහජන සේවාව තව දුරටත් පුළුල් කරමින් ඉතා ශක්තිමත්ව පෞද්ගලික ආයතන සමඟ එකතුව ඉදිරියේදීත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩි.බි. මිගස්මුල්ල, තැපැල්පති රෝහණ අබේරත්න, සම්පත් බැංකුවේ කළමනාකරණඅධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *