පොලිසිය සමඟ යුද හමුදා භට පිරිස් මහනුවර නගරයේ තවදුරටත් මුර සංචාරයේ

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහාකාරි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද්ධ හමුදා භට පිරිස් ස්ථානගත කර තිබුණු අතර හදිසි නීතිය යටතේ පනවා තිබු රෙගුලාසි ඉවත් කිරීමත් සමඟ යුද්ධ හමුදා භට පිරිස් ප්‍රමාණය අඩු කලද තවදුරටත් මුර සංචාරයන් සහ මාර්ගබාධක පවත්වාගෙන යාම සඳහා පොලිසියට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කරයි.

ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සදහන් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් කලහකාරි සිදුවීම් ඇති වූ මහනුවර දිස්ත්‍රික්කයට ප්‍රථමයෙන්ම පැමිණි කිහිපදෙනා අතරින් එක් අයෙකු වන අතර එම තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු දින තුනක් පමණ රැඳි සිටිමින් ආගමික නායකයින්, ව්‍යාපාරිකයින්, මුස්ලිම් ප්‍රජා නායකයින් සහ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වයෙන් පීඩාවට පත් වූ සිවිල් වැසියන් සමඟ සාකච්ඡා කර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද්ධ හමුදාව ස්ථානගත කර ඇති බැවින් ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන බවට සහතික විය.

කලහකාරි සිදුවීම් ඇතිවූ මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම අනෙකුත් ප්‍රදේශයන්හි හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබුණ ද යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර දිස්ත්‍රික්කයට පැමිණ ආගමික නායකයින්, ව්‍යාපාරිකයින් සහ පීඩාවට පත් සිවිල් වැසියන් සමඟ සාකච්ඡා කරමින් මුස්ලිම් ප්‍රජාව මෙන්ම දිවයිනේ සියලුම සිවිල් වැසියන් අතර යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය ඉහළ නැංවීය. සිවිල් ප්‍රජාවගේ ඉල්ලීම පිරිදි යුද්ධ හමුදා භට පිරිස් ප්‍රමාණය වැඩිකිරීමෙන් අනතුරව යුද්ධ හමුදාධිපතිතුමන් සිවිල් පරිපාලකයින් සමඟ සම්බන්ධතාවයෙන් සහන වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහ.

පසුගිය සිකුරාදා (20) සන්ධ්‍යාව වනතුරුම පොලිසියේ ඉල්ලීමට අනුව යුද්ධ හමුදා භට පිරිස් පැය 24 පුරා සුපරික්ෂාකාරි අධික්ෂණ පාමුර සංචාර සහ ජංගම ඒකාබද්ධ මුර සංචාර සිදුකිරීමට පොලිසියට සහයෝගය ලබාදුනි.

මූස්ලිම් ප්‍රජා නායකයින්ගේ ඉල්ලීමකට අනුව දිගන, අකුරණ සහ පූජාපිටිය ප්‍රදේශයන්හි ගැටුම්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා යුද්ධ හමුදාව අනෙකුත් ආරක්ෂක අංශ සමඟ ක්‍රියා කළහ. යුද්ධ හමුදාධිපතිතුමන් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට සහ 11 වන සේනාංකයට ලබාදුන් උපදෙස් අනුව ගෙවීගිය පැය 72 ක කාලය තුල යුද්ධ හමුදාව ගැටුම්කාරි තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශයෙන්හි සිවිල් වැසියන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් මෙන්ම ප්‍රදේශයේ ආරක්ෂාව සහ සාමය ස්ථාපිත කිරීමට ගත හැකි පියවර පිළිබඳ වැඩිදුරටත් තොරතුරු සොයා බැලීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව කලහකාරි සිදුවීම් ඇතිවූ ප්‍රදේශයන්හි තත්ත්වය පාලනය කරමින් ‘ජනතාවට අවශ්‍ය සියලුම දේ’ සපයමින් සාමය ඇතිකිරීමට මෙන්ම හානියට පත්වූ දේපළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන දැඩි උත්සාහයක් ගත් අතර “පීඩාවට පත්වූ ප්‍රජාවන් සමග පෞද්ගලිකව සම්බන්ධවී ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බලා සපුරාදීමට යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පය බව” මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් මෙහිදි පැවසීය.

රජයේ මුදල් සහ කාලය ඉතිරි කරමින් යුද්ධ හමුදාව විසින් ඉකුත් දිනයන්හිදි මහනුවර ප්‍රදේශය කේන්‍ද්‍ර කරගනිමින් ඇතිවූ කලහකාරි සිදුවීමෙන් හානියට පත් දිගන – කෙන්ගල්ල මාර්ගය දෙපස පිරිසිදු කිරීමට මෙන්ම සුන්බුන් ඉවත් කිරීමට ඉතා දුෂ්කර අභියෝගයන් මධ්‍යයේ සිකුරාදා (16) දින ආරම්භ කරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජිතයින් විසින් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම මීට දින කිහිපයකට පෙර ආරම්භ කර ඇති අතර මහා භාණ්ඩාගාරය විසින් පළමුව රුපියල් ලක්ෂය බැගින් ගෙවීමට තීරණය කර ඇත. මේ වනවිට නිවාස 150 කට අධික සංඛ්‍යාවකට එම වන්දි මුදල් ලබාදී ඇත. තවද බළධාරීන් විසින් හානියට පත් නිවාසයන්හි හානිපූර්ණය තක්සේරු කරමින් පවති.

ගැටුම්කාරි තත්ත්වය හමුවේ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ අනෙකුත් ආරක්ෂක සේනා මූලස්ථානයන් වෙතින් ගෙන්වූ භට පිරිස්, මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ කඳවුරු වෙත මුදාහැරීමට කටයුතු කර ඇති අතර මේ වනවිට 11 වන සේනාංකය යටතේ ස්ථාපිත බළඇණියන්හි භට පිරිස් පමණක් රාජකාරියේ යොදවා ඇත.

මේ වනවිට යුද්ධ, නාවික හා ගුවන් හමුදාවේ සාමාජිකයන් 250 කට අධික පිරිසක් පිරිසිදු කිරීමේ කටයුතු වල නියැලී සිටින අතර යුද්ධ හමුදා යන්ත්‍රෝපකරණ යොදාගනිමින් සිදු කරනු ලබන මෙම කාර්යභාරය මගින් රජයට සහ මහනගර සභාවන්ට විශාල මුදලක් ඉතිරිවනු ඇත. ඒ අනුව, දිගන – කෙන්ගල්ල මාර්ගයේ කිලෝමීටර 5 ක් පිරිසිදු කිරීමට ඇති අතර ඉන් කිලෝමීටර 2 ක ප්‍රමාණයක පිරිසිදු කිරීම් අවසන් කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්, අනෙකුත් සියළුම බලධාරීන්ගේ සහය ඇතිව වෙසක් පුර පසළොස්වක පොහෝ දිනට පෙර ගැටුම්කාරි තත්ත්වයෙන් හානියට පත් සියළුම දේපල නැවත යථා තත්ත්වයට පත් කරන බවට ජනතාවට සහතික විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *