ගාල්ල නගර සභාවේ එ.ජා.ප ජයග්‍රහණය පාවාදුන් සියලු දෙනාට පක්ෂයෙන් දැඩි තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය පාවාදුන් සියලු දෙනාට එරෙහිව පක්ෂයෙන් දැඩි තීරණයක් ගන්නා බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධාරණය කරනු ලැබේ.

”එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය ලබාගත් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ දී පොදු ජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා සිය ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවත් ඔවුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර කර ඇත.

මාධ්‍ය නිවේදනය.

” එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කළ ගාල්ල මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්වූ සභිකයන් හත් දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයාට පක්ෂව ඡන්දය දෙමින් අප පක්ෂයේ මතයට පටහැනිව ක්‍රියාකර තිබෙනවා. මේ හත්දෙනා ක්‍රියාකළ ආකාරය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වා ඔවුන් සියලු දෙනාට ම එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනටමත් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා. නව මැතිවරණ පනතේ දී සෑම ඡන්ද දායකයෙක් ම ඡන්දය ප්‍රකාශ කළේ පක්ෂයට. අපේක්ෂකයන් පත්වුණේ පක්ෂයට ප්‍රකාශ කළ ඡන්ද අනුව. ඒ නිසා සෑම සභිකයකුට ම පක්ෂයේ මතය සමග එකඟවීමට සිදුවනවා. අපි නගර සභාව ජයග්‍රහණය කළත් සභාවේ නගරාධිපති තේරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ සභිකයන් 14 දෙනාත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තුන් දෙනාත්, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභිකයාත් එක්ව කටයුතු කිරීමට තීරණය කළා. ඒ සඳහා සියලු දෙනාගේම එකඟතාවක් තිබුණා. අපේ පක්ෂයෙන් ලබා දී තිබූ උපදෙස වූයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග හැර අනෙක් පක්ෂ හෝ කණ්ඩායම් සමග එක්ව කටයුතු කරන ලෙසයි. ඒ අනුව අපි ගාල්ල මහ නගර සභාවේ බලය ලබා ගැනීමට කටයුතු කර තිබුණා. මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල බල මණ්ඩලය කැඳවා අපේ පක්ෂයෙන් නගර සභාවට තේරීපත්වූ මන්ත්‍රීවරු හා ලැයිස්තුවෙන් තේරීපත්වන මන්ත්‍රීවරු ද හඳුන්වා දුන්නා. ඉන් අනතුරුව නගර සභාවේ නගරාධිපතිධූරයට ජිලිත් නිශාන්ත මහතා අපේ පක්ෂයෙනුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශප්‍රිය ලියනගේ මහතා නියෝජ්‍ය නගරාධිපති ධූරයට පත්කිරීමටත් එකඟ වුණා.

මේ එකඟතාවයට නගර සභාවට අපේ පක්ෂයෙන් තේරීපත්වූ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරු ද එකඟතාවය ප්‍රකාශ කළා. ඒ එකඟතාව වූයේ නගරාධිපතිවරයා තෝරාපත්කිරීමේ දී රහස් ඡන්දයකට නොගොස් විවෘත ඡන්දයක් ඉල්ලීම හා නගරාධිපති ධූරයට ජිලිත් නිශාන්ත මහතා සහ නියෝජ්‍ය නගරාධිපති ධූරයට දේශප්‍රිය ලියනගේ මහතා පත්කිරීමයි.

ඒ සඳහා අප පක්ෂයේ සියලු සභිකයන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් සභාවට තේරීපත්වූ මන්ත්‍රීවරිය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තිදෙනා හා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභිකයා එකඟතාවය පළ කළා. නමුත් සභාවේ ඡන්දය පැවැත්වෙද්දී මේ එකඟතාව කඩකරමින් අප පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරු හත් දෙනකු කටයුතු කිරීම හේතුවෙන් නගරාධිපති තේරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා වූ ජිලිත් නිශාන්ත මහතා පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වූ ප්‍රියන්ත සහබන්දු නගරාධිපති ධූරයට පත්වුණා. ඒ වගේ ම අපේ පක්ෂයේ එකඟතාවයට පටහැණිව යමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ෆවුසුල් නියාස් මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යෝජනා ස්ථිරත්වයෙන් නියෝජ්‍ය නගරාධිපතිධූරයට පත්ව සිටිනවා.

විනය ගරුක පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය මෙය අනුමත කරන්නේ නැහැ. පක්ෂයේ තීරණයට පටහැනිව යමින් කටයුතු කිරීම බරපතල වරදක්. මා මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කළා. පක්ෂ මහ ලේකම් වරයාට ද මේ බව දැනුම් දී අපි දැනටමත් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ඒ අනුව පක්ෂයේ මතයට පටහැනිව කටයුතු කළ ගාල්ල මහ නගර සභාවට තේරීපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අප කටයුතු කරනවා.

ගාල්ල මහ නගර සභාවට සභිකයන් තේරීමේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සියලු දෙනාගේ අපේක්ෂාව වූයේ ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම. ඒ මතය ඔවුන් ජයග්‍රහණය කළත් කිහිප දෙනකු එකතු වී එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය මුදලට පාවා දීම අනුමත කළ නොහැකියි. ඔවුන් අපේ පාක්ෂිකයන්ගේ මතය හෑල්ලුවට ලක්කර තිබෙනවා. ඒ නිසා ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *