උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බවට තොරතුරක්

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ හිටපු තානාපති සහ මෙරට විශාල මූල්‍ය වංචාවක් වූ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුවකු බව කියන උදයංග වීරතුංග මහතා ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (26) යළි අත්අඩංගුවට ගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචිමාර්ග සඳහන් කර ඇතැයි දිනමිණ හා ඩේලිනිවුස් පුවත්පත් වාර්තා කර ඇත.

උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇවැස්ස මස්සිනා කෙනකු වේ.

මීට පෙරද විශේෂ ගමන් බලපත්‍රය තහනමට ලක්වී තිබියදී ඩුබායි සිට ඇමරිකාව බලා යාමට සිටියදී ඔහු ඩුබායි ගුවන්තොටුපොළේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ වනවිට උදයංග වීරතුංග මහතා වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම මත අධිකරණය මගින් ජාත්‍යන්තර පොලිසිය වෙත නිල් නිවේදනයක් පමණක් නිකුත් කර තිබිණි.

ඒ අවස්ථාවේ උදයංග වීරතුංග මහතා මෙරටට ගෙනඒම සඳහා පොලිස් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගියද ඒ වනවිට ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවී තිබුණ විදේශ ගමන් බලපත්‍රයේ තහනම නිසා, බැවින් ඔහු ඩුබායිහි ආරක්ෂක අංශ මගින් මෙරටට බාරදී නොතිබුණි. අනතුරුව මෙරටට පැමිණි මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු උදයංග වීරතුංග මහතා වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරනු ලැබිණි.

ඊ‍ට අමතරව උදයංග වීරතුංග මහතා මහා පරිමාණ මූල්‍ය වංචාකරුවකු ලෙස නම්කර ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයටම ඔහුගේ නම එකතු කරනු ලැබිණි.

මේ අතර උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකය ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්වී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ගණනාවක් බුද්ධිඅංශයන්හි සහභාගීත්වයෙන් සිදුකරනු ලැබිණි.

ඒ අතර උදයංග වීරතුංග මහතා ඊයේ ජාත්‍යන්තර පොලිසිය මගින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචිමාර්ගවලින් අනාවරණය වූ අතර ඔහු මෙරටට ගෙනඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පැවති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *