වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් මුහුදේ ගිල්වයි

(කොළඹ, ලංකාපුවත්) – යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිත කළ මිල අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් මීගමුවට ආසන්න බටහිර මුහුදේ ගිල්වා දැමීමට නාවික හමුදාව ඊයේ(26) කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ මීට අමතරව මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ වෙලින් නෞකාව ද මෙම ප්‍රදේශයේදී මුහුදුබත් කළ බවයි.

හිටපු ජනාධිපතිවරුන් යුද සමයේ භාවිත කළ වෙඩි නොවදින රථ වෙන්දේසි කිරීමට හැකියාවක් නොමැති අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාවක් ද නොමැත.

මේ හේතුවෙන් එම රථ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව බටහිර මුහුදේදී ගිල්වා දැමීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

එමෙන්ම එල්ටීටීඊ ජාලයට අයත්ව තිබූ වෙලින් නෞකාව කලක් නාවික හමුදාවේ කටයුතු සඳහා භාවිත කළ ද දිරාපත් වීමෙන් පසුව එය ඉවත් කර තිබුණි.

යකඩ ලබා ගැනීම සඳහා මෙම නෞකාවේ කොටස් වෙන්දේසි කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද ඊට හිමිවී ඇත්තේ අඩු ලංසුවකි. ඒ හේතුවෙන් මෙම නෞකාව ද මුහුදුබත් කර දැමීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *