ස්ලෝවැකියාවේ මෝටර් රථ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ රබර්

(කොළඹ, ලංකාපුවත්) – ස්ලෝවැකියාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේදී ශ්‍රී ලංකාවේ රබර් සඳහා ඉතා හොඳ අවස්ථාවක් පවතින බව ස්ලෝවැකියානු උප අගමැති හා මුදල් අමාත්‍ය පීටර් කසීමර් (Peter Kazimir) මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28 ) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා එම අමාත්‍යංශයේ දී හමුවූ අවස්ථාවේ දීය. මෙහිදී ශ්‍රී ලංකාව හා ස්ලෝවැකියාව අතර වෙළෙඳ සම්බන්දතා ඉහළ නැංවීම පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙන දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි.

ලෝකයේ රථවාහන නිෂ්පාදනයේ ඉදිරිපෙළ රටක් වන ස්ලෝවැකියාව තම රථ වාහන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවද දායක කර ගැනීමට මෙහිදී කැමැත්ත පළ කළ අතර, ලොව රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින ශ්‍රී ලංකාවේ රබර් තම රථවාහන නිෂ්පාදන කර්මාන්තය සඳහා යොදා ගැනීමට අවස්ථාව තිබෙන බව පීටර් කසීමර් මහතා පැවැසීය.

තම මෝටර් රථ කර්මාන්තය සඳහා අවශ්යම රබර් අප්‍රිකානු හා අග්නිදිග ආසියානු රටවලින් මේ වන විට ලබා ගන්නා බවත් එම සැපයුම් දාමය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය බවත් කසීමර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්ථානය ගන්නා ස්ලෝවැකියාව, වොක්ස්වැගන්, කියා, පර්ජෝ වැනි වාහන නිපදවන අතර, එරට සමස්ත කාර්මික නිෂ්පාදනයෙන් 44%ක් ම මෝටර් රථ වේ. 2017 දී ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන රටවල් අතරින් ප්‍රමුඛයා බවට පත් වීමට ස්ලෝවැකියාව සමත්විය.

මෙහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා , ශ්‍රී ලංකාව රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළින් සිටින රටක් බවත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රබර් ලෝකයේ වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා පවා යොදා ගන්නා බවත් ස්ලෝවැකියාවෙන් ලද මෙම ආරාධනය මෙරටට ඉතා වටිනා ව්‍යාපාරික අවස්ථාවක් බවත් පැවසීය.

ශ්‍රී ලංකාව හා ස්ලෝවැකියාව අතර වෙළෙඳ ගණුදෙනු ඇමරිකනු ඩොලර් මිලියන 45.07ක පමණ වන අතර, එම වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය වැඩි දියුණු කර ගැනීමට මේ තුළින් අවස්ථාව උදාවන බවත් 2017 වසරේදී මෙරට රබර් අපනයන ආදායම 18% කින් ඉහළ ගිය අතර සමස්ත රබර් අපනයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 39ක් ආදායමක් ලබා ඇති බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *