අගමැතිට එරෙහි විශ්වාසභංගය පැරදවීමට රජය කටයුතු කරනවා – ඇමති රාජිත

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට රජය කටයුතු. කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

විශ්වාසභංගය පරාජය කර නව වැඩපිළිවෙළක් ඔස්සේ රජය ඉදිරියටම ගමන් කරන බවත් අගමැතිවරයා පිළිබඳව ගැටලු ඇත්නම් ඒවා විසඳාගෙන රජය ඉදිරියටම ගමන් කළ යුතු බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

වත්මන් රජය ඉතා කැපවීමෙන් යුතුව ජනතා සේවාවේ යෙදුණ ද, එම සේවාව පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැති බව ද ඇමතිවරයා අවධාරණය කරනු ලැබීය.

ගංවතුරෙන් නිවාස අහිමි වූවන් සඳහා පසුගිය රජය සමයේ ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂයක් වුවත් වත්මන් රජය යටතේ නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ 16 ක මුදලක් ලබා දී තිබෙන්නේ යැයි ද, ඒ පිළිබඳව ජනතාව දැනුවත්ව නොමැති යැයි ද ඇමතිවරයා පැවසීය.

වත්මන් රජයේ සංදර්ශන නොමැති බවත් යහපාලන රජය සමයේ ලබා දුන් සහන වෙනත් කිසිම රජයක් මෙතෙක් ලබා දී නොමැති බවත් ඇමැතිවරයා පැවැසුවේය. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීම ඇතුළු සහන රැසක් ලබා දී තිබෙන බවත් නියං සහනාධාර යටතේ විපතට පත් පවුලකට රුපියල් 5000 ක සහන මල්ලක් ලබා දුන්නත් ජනතාව ඒ පිළිබඳව දැනුවත් වී නොමැති බවත් ඇමැතිවරයා කීය. ඒ බව මැතිවරණ ප්‍රතිඵලවලින් මනාව ඔප්පු වන්නේ යැයි ද, රජයේ සිටින ඇතැම් අය රජයේ සිටිමින්ම රජය විවේචනය කරන තත්ත්වයක් උදා වී ඇතැයි ද ඇමතිවරයා පැවසීය. එසේ රජය විවේචනය කරන පුද්ගලයන් රජය නිර්මාණය කිරීමට පැමිණ අය නොවන බවත් 2015 මැතිවරණයේ දී ඔවුන් හිටියේ වෙනත් අදහසක බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

වසර 2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමේ අවස්ථාව උදා වී තිබුණ ද, රට හැදීම සඳහා පක්ෂ දෙක එකතු වූ බවත් නමුත් රජය විවේචනය කරමින් ප්‍රශ්න හදන්න ඇතැමුන් උත්සාහ කරන බවත් ඇමතිවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *