මව්කුස තුළදීම බිළිඳෙකුට කළ අමුතුම සැත්කම

(කොළඹ, ලංකාපුවත්) – ගෙල ප්‍රදේශයේ ගෙඩියක් සහිතව උපදින දරුවෙකු මව් කුසෙන් බිහිවන අවස්ථාවේදී සැත්කමක් කරමින් ජීවිතය බේරාගත් සුවිශේෂී අවස්ථාවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකොට තිබේ.

හිසෙහි හා ළයෙහි සැත්කමක්

උපත ලබන අවස්ථාව වන විට ගෙල ප්‍රදේශයේ අසාමාන්‍ය ගෙඩියක් හට ගැනීම නිසා පෙණහළු හා ස්වසන මාර්ග පද්ධතිය අවහිර වන Teratoma නම් රෝගී තත්ත්වයකට මෙම ළදරුවා පත්ව සිටියහ. කළල අවස්ථාවේදී ස්කෑන් කිරීම මගින් මෙම තත්ත්වය හඳුනාගෙන තිබුණු නිසා දරුවා උපත ලබන අවස්ථාවේදී හිස හා ළය කොටස් එළියට ගනිමින් සැත්කම සාර්ථකව සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම සමත්විය.

බිබිල පිටකුඹුර ගම්මානයේ පදිංචි ධම්මිකා ජයසිංහ නම් 36 හැවිරිදි මවක සිය තෙවන දරුවා ප්‍රසූත කිරීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇත. ඒ වන විට උපදින දරුවාගේ මෙම රෝගාබාධය මතුව ඇති බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ. ඒ වන විට ස්වසන පද්ධතියේ අවහිරවීමක් තිබුණ ද පෙකණිවැල ඔස්සේ මව හා දරුවා සම්බන්ධ වී සිටින බැවින් දරුවාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී නොමැත.

අම්මා නිසා දරුවා සුවෙන්

නමුත් දරුවා උපත ලද විට මව හා දරුවාගේ සම්බන්ධය වෙන් වන නිසා ඒ අවස්ථාවේදී ම දරුවා මරණයට පත්වීම සිදුවේ. එබැවින් සිසේරියන් (cesarean surgery ) සැත්කමක් මගින් අඩක් එළියට ගත් දරුවා සැත්කමට බදුන් කිරීමට පේරාදෙණීය වෛද්‍ය කණ්ඩායම සමත් විය. හිස හා ළය එළියට ගනිමින් සැත්කම සිදුකරන අවස්ථාව වන විට පෙකණිවල ඔස්සේ මව හා දරුවාගේ සම්බන්ධය අඛණ්ඩව තබා ගැනීමට වෛද්‍ය කණ්ඩායම කටයුතු කළහ.

ලංකාවේ පළමු සැත්කම

ශ්‍රී ලංකාවේ මෙවැනි සැත්කමක් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය යැයි සැලකෙන අතර මේ සඳහා ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා (Children’s Hospital of Philadelphia) ළමා රෝහලේ වෛද්‍ය අත්දැකීම් ද මේ සඳහා පදනම් වූ බව සැත්කමට දායක වූ වෛද්‍ය කණ්ඩායම සඳහන් කළහ.

ඉතා සාර්ථකව සිදුකළ සැත්කමින් අනතුරුව මව හා දරුවා සම්බන්ධ පෙකණිවැල වෙන් කොට තිබේ. සැත්කමින් අනතුරුව දරුවා හුස්ම ගනිමින් සාමාන්‍ය පරිදි හැසිරුණු බවත් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කළ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා කීවේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය මාතුල හෙට්ටිආරච්චි මහතා, නිර්වින්දන විශේඥ වෛද්‍ය වසන්ති පින්ටෝ මහත්මිය, නිර්වින්දන වෛද්‍ය සමීර වාසල මහතා, ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය පැතුම් දිසානායක මහතා, උගුර, කන හා නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය එස්.ජී.ඇතුල්ගම මහතා, රශ්මි හා විකිරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජීවනී උඩුපිහිල්ල මහත්මිය,විශේෂඥ වෛද්‍යරුන් වන තාරක චන්ද්‍රසේකර මහත්මිය, කපිල හෙට්ටිආරච්චි මහතා ඇතුළුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවරුන් හා සෙසු කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම සැත්කම සිදුවී තිබේ.

සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ ප්‍රතිකාර ලබන මෙම දරුවා දෙවන සැත්කම සඳහා ඉදිරියේදී යොමු කරන බව නිර්වින්දන හා ශල්‍ය දැඩිසත්කාර ඒකකය භාර විශේෂඥය වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

(නදීක දයා බණ්ඩාර – මහනුවර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *