ගැලරියේ සිට රේඛාව මංගල දර්ශනය නැරඹූ අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සුමිත්‍රා පීරිස් මහත්මියගේ “වෛෂ්ණාවි” චිත්‍රපටයේ මංගල දර්ශනය සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ඡන්ම දින සැමරුම වෙනුවෙන් ඊයේ (05) කොළඹ රීගල් සිනමා ශාලාවේ උත්සවයක් පැවැත්වුණි.

එහි දී එම අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ 1956 වසරේදී මෙම ශාලාවේ උඩු මහලේ සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු චිත්‍රපටය, රේඛාව නැරඹිමට තමාට ද අවස්ථාවක් ලැබුණු බවය.

ඒ අතීතය අගමැතිවරයා මෙලෙස සිහිපත් කළේය.

“1956 වසරේදී මෙම ශාලාවේ උඩු මහලේ සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු චිත්‍රපටය, රේඛාව නැරඹිමට මට අවස්ථාව උදා වුණා. රේඛාව මංගල දර්ශනය දවසේ චිත්‍රපටය නැරඹිමට මගේ මවට ආරාධනා කර තිබුණත් එතුමිය තරමක් ප්‍රමාදව පැමිණි නිසා අපට අසුන් ගැනීමට සිදුවූයේ ගැලරියේයි. මේ කතාව සුමිත්‍රා පිරීස් මහත්මිය නිතර නිතර මතක් කරනවා. මගේ පියාත්, මවත්, සහෝදරයාත් සමඟ මම චිත්‍රපටය නැරඹුවත් ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු කවුදැයි මා දැන සිටියේ නැහැ. අපිට වැදගත් වුණේ අපේ නැන්දා වන අයිරාංගනී සේරසිංහ මහත්මිය චිත්‍රපටයේ රඟපෑමයි.

සාම්ප්‍රදායික කලාව පදනම් කරගනිමින්, නව නිර්මාණ ඇති කළ එදිරවීර සරත්චන්ද්‍ර, ජෙෆ්රි බාවා වැනි කලාකරුවන්ගේ ශක්තිය ලෙස්ටර් ජේම්ස් පීරිස් තුලත් පැවතුණා. ඔහුගේ නිර්මාණ සඳහා දායකත්වය ලබා දුන් අය අතර සරත් විජේසිංහ, එච්. ඩබ් ජයවර්ධන, ජෝර්ජ් කිටි වැනි අයත් සිටියා. රේඛාව චිත්‍රපටයේ කොටසක් රූගත කිරීම් කලේ ජේ. ආර්. ජයර්ධන මහතා සතු බියගම මානෙල්වත්ත ඉඩමේයි.

සුනිල් ශාන්තගේ සහ සිසිර සේනාරත්න එකතුවෙන් නිර්මාණය වුණු ඕලූ නෙළුම් ගීතය රට පුරා ප්‍රසිද්ධ වුණා. ඉන් පසුව පැමිණි චිත්‍රපටය සංදේශයයි. එම චිත්රගපටය පළමුවෙන් තිරගත වූ රේඛාවට වඩා වෙනස් චිත්‍රපටයක්.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ලෝකයේ ප්‍රධාන භාෂාවකින් හෝ ආසියාවේ ප්‍රධාන භාෂාවකින් චිත්‍රපට නිෂ්පාදනය කළා නම් ඔහු අද ලෝක ප්‍රසිද්ධ වීමට ඉඩ තිබුණා. එම අවස්ථාව එතුමාට නොලැබුණත් ඔහුගේ නිර්මාණ නිසා සිංහල සිනමාව අර්ථවත් වුණා. අපේ චිත්‍රපට සංස්කෘතිය වෙනස් වුනේ එතුමාගේ සේවය නිසයි. අද වයස අවුරුදු 99 වන ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට මෙම ස්ථානයට පැමිණීමට නොහැකි වූවත් අපි සියළුම දෙනා එතුමාට ස්තුති වන්ත වෙනවා. වර්තමාන ශ්‍රී ලංකාව මේ ආකාරයට වෙනස් කළ පුද්ගලයන්ගේ නාම ලේඛනයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නමත් ඇතුලත්ව තිබෙනවා.

ලෙස්ටර් සහ සුමිත්‍රා දෙපළ ආශ්‍රය කිරීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. සිංහල සිනමාවේ විප්ලවයක් කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රට වෙනුවෙන් මම ස්තුති වන්ත වෙනවා. චිත්‍රපට කර්මාන්තය හරහා ජනතාවගේ ජීවිත රසවත් කළ මෙතුමාට සියළු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *