(කොළඹ, ලංකාපුවත්) – සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් සුවිශිෂ්ට මෙහෙවරක් ඉටු කොට වදාළ සමස්ත ලංකා අවිහිංසාවාදී ඒකාබද්ධ සම්මේලනයේ ගරු අනුශාසක පූජ්‍ය අහංගම ආනන්ද නාහිමිපානෝ අපවත් වූහ.
අපවත්වන විට උන්වහන්සේ 85 වෙනි වියේ පසුවූ අතර මෙම අප්‍රේල් 12වෙනිදාට යෙදෙන උන්වහන්සේගේ 86වන ඡන්ම දිනය වෙනුවෙන් සුවිසල් අභයදානමය පිංකමක්ද සංවිධානය කර තිබිණ.
උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට වැල්ලවත්ත විජයරාම විහාරස්ථානයේ තැන්පත් කොට ඇති අතර ආදාහන පූජයෝත්සවය කොලඹ 05 හෙන්ද්‍රි පේදිරිස් උද්‍යානයේ අද(09) ප.ව. 4.00 සිදුකෙරේ.
ආදාහන පෙරහැර පස්වරු 3.00 ට විහාරස්ථානයෙන් පිටත් වනු ඇත.
මරණයට කැප කළ සතුන්ට අභයදානය දීමෙහිලා වාර්තා ගත යුග මෙහෙවරක් ඉටු කර ඇති උන්වහන්සේ මරණයට කැප කළ සතුන් අතිවිශාල සංඛ්‍යාවකට අභයදානය ලබා දී තිබේ. ඔවුන් අතර මත්ස්‍යයන් ද සිටිතැයි කියති. නාහිමියන් එසේ අභය දානය ලබා දුන් ගවයන්ගේ සංඛ්‍යාව පමණක් 4599ක් බව කියනු ලැබේ.
2008 වසරේ ඔරුගෙඩවත්ත ප්‍රදේ්ශයේදී උන්වහන්සේගේ අභයදානය ලැබූ ගවයෙකු ඒ මෙහොතේම උන්වහන්සේ ඉදිරියට පැමිණ හිස පොළවට තබා ගෙන උන්වහන්සේට වැඳ නමස්කාර කරන බවක් පළ කළ අතර අසල සිටි අයෙකු අහම්බෙන් එම සිදුවීම ඡායාරූපයට නංවා තිබිණ.
ඉන්පසු විවිධ සංවිධාන මගින් එම ඡායාරූපය සහිත පෝස්ටර් ලක්ෂ ගණනක් රට පුරා බෙදා හරින ලදුව එම පෝස්ටරය දුටු විශාල පිරිසක් නිර්මාංශ ආහාර වලට යොමු වී ඇති බවද පැවසෙයි. මීට අමතරව ‘හෙළ හවුල’ ඇතුළු සංවිධාන රැසක ගරු අනුශාසක පදවිය හෙබවූ උන් වහන්සේ ජාතීන් අතර සමගිය ගොඩ නැගීමෙහිලා මහත් මෙහවරක් ඉටු කොට ඇත.