අභාවප්‍රාප්ත රත්නාවලී කැකුනවෙල මහත්මියගේ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීණ රංගන හා හඩකැවීම් ශිල්පිණී අභාවප්‍රාප්ත රත්නාවලී කැකුනවෙල මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද(09) සවස 4.00ට සිදු කෙරේ.

වර්ෂ 1931 ජනවාරි 21 වන දින උපත ලද ඇය නමින් ජෝර්ජ් රත්නාවලී කුමාරසිරි මිගෙල් ය. නමුත් ලාංකේය ජනතාව ඇයව හදුනාගත්තේ රත්නාවලී කැකුනවෙල යන නමින්ය.

1950 දශකයේදී පී. වැලිකල මහතා නිෂ්පාදනය කළ ආසියාවේ මෙතෙක් දීර්ඝතම ගුවන් විදුලි නාට්‍යය වන මුවන් පැලැස්සෙන් ඇය කලා ලොවට අත්පොත් තැබුවේය. දශක ගණනක් ගත වී ඇතත් කෝරළේ මහත්තයාගේ බිරිද වන මැණිකේව ශ්‍රාවක ජනතාවට අමතක වී නොමැත.

පසු කාලයේදී සිනමාවට හා ටෙලි නාට්‍යයට නැගෙන මුවන් පැලැස්සෙන් ඇය ප්‍රේක්ෂක ජනාදරය තව තවත් දිනා ගැනීමට සමත් විය. ඇයගේ ගුවන් විදුලි ඉතිහාසය තුළ අනෙකුත් ජනප්‍රිය හඩනළු ලෙස මහ රෑ හමුවූ ස්ත්‍රිය, කුරුළු බැද්ද එකල ශ්‍රාවක ජනතාවගේ සිත් සතන් පැහැර ගනු ලැබීය. එක්දහස් නවසිය හැට හතේදී සත් සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ඇය මී මැස්සෝ, දියමන්ති, නිල්ල සොයා, මරුවා සමග වාසේ, අශා දෑසින් වැනි චිත්‍රපටවලට තම නිර්මාණ ශීලී දායකත්වය ලබා දුන්නාය.

සිනමා පට හතළිහකත්, වේදිකා නාට්‍යය සහ ටෙලි නාට්‍ය රැසකත් ඇයගේ විශිෂ්ඨ රංග ප්‍රභාව දැක ගත හැකි විය. තම රංග ප්‍රතිභාවෙන් පරම්පරා කිහිපයක් උසස් වින්දනීය ඉසව්වකට ගෙන යාමට සමත් වූ ඇය දිවි සිනමාවෙන් සමු ගත්තේ පසුගිය 07වනදා ය.

කලක් රෝගාතුරව සිටි රත්නාවලී කැකුනවෙල මහත්මිය මියයන විට අසූ හත් වන වියේ පසු විය. ඇයගේ දේහය මේ වන විට රත්මලාන වැලිකන්ද පාරේ අංක 25/1, සී. නිවසේ තැන්පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *