වෙරළාරක්ෂක බළකා ජිවිතාරක්ෂකයින් ජීවිත 1000 බේරා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ ජීවිතාරක්ෂක කණ්ඩායම් ජීවිතාරක්ෂක කටයුතුවල තවත් වැදගත් සංධිස්ථානයක් කරා ළඟා වෙමින් මේ වනවිට ජීවිත 1000ක් බේරා ගැනීමට සමත්ව ඇත.

පසුගියදා හික්කඩුව වෙරලතිරයේදී මුහුදට ගසාගෙන යමින් සිටි තරුණයන් තිදෙනෙකුගේ ජිවිත බේරාගැනීමත් සමග ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකා ජීවිතාරක්ෂකයන් මේ වනවිට බේරාගත් ජිවිත සංඛ්‍යාව 1000 සේ කඩයිම පසුකිරීමට සමත්විය.

පසුගිය සතියේ (අප්‍රේල් 17) දකුණේ ජනප්‍රිය මුහුදු තිරයක් වන හික්කඩුව මුහුදු තිරයේ දිය නෑමට ගොස් සිටියදී මුහුදට ගසාගෙන යමින් සිටි ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණි වයස අවුරුදු 19 ත් 21 ත් අතර තරුණයන් තිදෙනෙකු එහි සේවයේ නියුතු වෙරළාරක්ෂක බලකා ජිවිතාරක්ෂකයින් විසින් බේරාගනු ලබීය.

2009 වර්ෂයේ මිරිස්ස මුහුදු තිරයේදී ඉතා සුළු භට පිරිසකගෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකා ජීවිතාරක්ෂක අංශය මේ වනවිට ජීවිතාරක්ෂක කටයුතුවල කැපීපෙනෙන ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. 2009 දෙසැම්බර් මාසයේදී කොරියානු ජාතිකයකු මිරිස්ස මුහුදු තිරයේදී බේරාගනිමින් ආරම්භ කල ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා ජීවිතාරක්ෂක කටයුතු තුලින් අද වනවිට ප්‍රංශය, චීනය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, නේපාලය, ස්පාඤ්ඤය, සවුදි අරාබිය, නෙදර්ලන්තය, එංගලන්තය, රුසියාව සහ ජර්මනිය වැනි රටවලින් පැමිණි සංචාරකයන්ගේ ජිවිත 405 ක් ඇතුළුව ජීවිත දහසකට වැඩි ගණනක් බේරාගැනිමට හැකි වී තිබේ.

ආකර්ශනීය මනරම් මුහුදු තීරයකින් සමන්විත දිවයිනක් වන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳගැනීම සඳහා දිනපතා විදේශීය සංචාරකයන් දහස් ගණනක් මෙහි පැමිණේ. මීට අමතරව විශේෂයෙන්ම සතිඅන්ත සහ නිවාඩු කාලවලදී දේශීය සංචාරකයන් අති විශාල සංඛ්‍යාවක් වෙරළ තීරයේ සුන්දරත්වය විඳගැනීමට පැමිණෙනු ලබයි. වෙරල තිරයන් වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මුහුණදෙන ජිවිත අවධානම පිළිබඳව අවබෝධ කරගත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය දිවයින වටා ඇති සියලු ජනප්‍රිය වෙරළ තීරයන් වල සිය ජීවිතාරක්ෂක ස්ථාන පිහිටුවා තිබේ. මේ වන විට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය ඉතා හොඳින් පුහුණුව ලත් ජීවිතාරක්ෂක භටයන්ගෙන් සමන්විත ජීවිතාරක්ෂක ස්ථාන 13 ක් දිවයින වටා ස්ථානගතකර ඇත. මෙම ජීවිතාරක්ෂක භටයින් සඳහා බලපිටියෙහි පිහිටි ශ්‍රී ලංකා වෙරකාරක්ෂක බළකා පුහුණු පාසල තුලින් ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් පුහුණුවක් ලබා දෙනු ලැබේ.

මිට අමතරව කච්චතිවු දූපතේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ පුජා සාමය තුලත් ‍‍ෛඑයිතිහාසික කතරගම දේවාලයේ උත්සව සමය තුලත් ජීවිතාරක්ෂක කණ්ඩායම්වල සේවය සපයනු ඇත.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය විසින් පාසල් ළමුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද ජීවිතාරක්ෂක දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වෙරළාරක්ෂක බළකා ජිවිතාරක්ෂකයින්ගේ සුපරික්ෂාකාරී නිරීක්ෂණය සහිත වෙරළ තීරයන් වඩා ආරක්ෂිත වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *