ටොරොන්ටෝ අනතුරින් මියගිය අය අතර ලාංකික කතක් සිටින බවට තොරතුරු නැහැ – විදෙස් අමාත්‍යංශය

(කොළඹ, ලංකාපුවත්) –කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු සිටින බවට තොරතුරු මෙතෙක් තහවුරු වී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

ටොරොන්ටෝහිදී සිදුවූ අදාළ අනතුරින් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගිය බවට පුවත් සහ සමාජ මාධ්‍ය මේවන විට තොරතුරු වාර්තා කර ඇත.

කෙසේ නමුත් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරනුයේ මේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ටොරොන්ටෝහි කොන්සියුලර් ජනරාල්වරයා, ටොරොන්ටෝ පොලිසිය ඇතුළුව කැනේඩියානු බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවය.

මේ වන විට අදාළ කැනේඩියානු බලධාරීන් විසින් හඳුනාගෙන ඇති සහ හඳුනාගෙන ඇති අයගේ නම් අතර ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

කෙසේ නමුත් ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය අය අතර ශ්‍රී ලාංකීක කාන්තාවක් ද සිටින බව අනාවරණය වී ඇතැයි බොහෝ මාධ්‍ය වාර්තා කර ඇත.

රේණුකා අමරසිංහ නැමැති වයස අවුරුදු 48 ක් පමණ වන ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබීය.

මේ සම්බන්ධයෙන් කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය අහංගම රතනසිරි හිමියන් කියා සිටියේ, ඇය ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන බවයි.

වයස අවුරුදු 07ක පමණ කුඩා දරුවෙකු සිටින මෙම කාන්තාව තනියම රැකියාවක් කරමින් දරුවා හදාවඩා ගෙන ඇති බව ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.

දරුවා ඉපදීමට සිටින විටදීම ස්වාමි පුරුෂයා ඇය අත්හැර ඇති බවත් වසර 15 ක පමණ කාලයක් පුරා මෙම කාන්තාව කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරස්ථානය සමඟ සම්බන්ධතා පැවැත් වු බවත් රතනසිරි හිමියන් සඳහන් කරයි.

ඇය මේ වන විට කැනඩාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බවත් එනිසා අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන ආකාරය පිළිබඳ දායක සභාව සමඟ සාකච්ඡා කළ බවත් උන්වහන්සේ පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *