වැරදි නිවැරදි කරමින් රට ගොඩනැගිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් රජයට ජනතාව වගකීම් ලබා දුන්නේ පසුගිය රජයන් සිදු කළ වැරදි නිවැරදි කරමින් යහපත් රටක් ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ 25 වන ගුණ සැමරුම් උත්සවයට අද (01) පෙරවරුවේ එක්වෙමිනි. කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය අසල පේ‍්‍රමදාස පිළිරුව අභියස දී ගුණසමරු උත්සවය පැවැත්විණි.

පේ‍්‍රමදාස පිළිරුව වෙත මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව පැවති උත්සව සභාව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් මේ රටේ ජනතාව භාරදුන් වගකීමත්, පෙර පැවති රජය වෙනස් කිරීමට ජනතාව තුළ තිබූ උනන්දුවත් පිළිබඳව සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.

පෙර කළ වැරදි නැවත නොකරන වඩා යහපත් පාලනයක්, යහපත් සමාජයක් සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් මෙන්ම පොඩි මිනිසුන්ට ආදරය කරන ජනතාවගේ හෘද ස්පන්දනය හදුනාගත් ජනතාවාදී ගමනක් සදහා සියලුදෙනා කැපවි යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ චරිතයත්, එතුමාගේ දේශපාලන දර්ශනයත් පිළිබඳ අවබෝධයෙන් යුතුව එතුමා අපේක්ෂා කළ සමාජ වෙනස සඳහා අවශ්‍ය පරිවර්තනයන් පිළිබඳ අධ්‍යයනය කරමින් ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සකස් කර ගැනීමට එක්වෙමුයැයි ද ජනාධිපතිතුමා මෙහිදී සියලුදෙනාට ආරාධනා කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළෙලේ පදක්කම්ලාභී කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් වෙනුවෙන් ලබාදුන් නිවාස 06න් නිවාස 03 ක හිමිකම් පිරිනැමීම සහ කොළඹ දිස්ති‍්‍රක්කයේ නිවාසලාභීන් පන්දහසක් වෙනුවෙන් නිවාස හිමිකම් ප‍්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත හිමිකම්පත් ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, හේමා පේ‍්‍රමදාස මැතිණිය ප‍්‍රමුඛ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *