ශ්‍රී ලංකා – චීන ආයෝජන ඉහළ යාමක්

(කොළඹ, ලංකාපුවත්) – ” චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳාම ඔස්සේ රටවල් දෙකටම ඉහළ ප්‍රතිලාභ භුක්ති වීඳීමට හැකියාවක් පවතින බවත්, අප දෙරටේ මිත්‍රශීලි සබඳතාව ඈත අතීතය දක්වා දිවයන බවත්, 2017 දී ශ්‍රී ලංකා – චීන සමස්ත වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 4.6 වු බවත්, එය පෙර වසර සමඟ සසඳන විට සියයට 3% ක වැඩි වීමක් බවත් කර්මාන්ත හා වාණිඩ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ දී පැවති විශේෂ චීන වෙළෙඳ දූත පිරිස සමඟ සාකච්ඡාවේදීය.

මහජන චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍ය කමිටු සාමාජික හා යුනාන් ප්‍රාන්තයේ රාජ්‍ය උපදේශක ගාවෝ ෂුෂුන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වෙළෙඳ දූත පිරිස පැමිණියහ. ඔවුන් විශේෂයෙන් පැමිණියේ ලබන ජුනි මස 14 – 20 දක්වා මහජන චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුංමිං නුවර පැවැත්වෙන “චීන දකුණු ආසියානු මහා ප්‍රදර්ශනය” (China South Asia Expo) සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාට නිල වශයෙන් ආරාධනා කිරීම සඳහාය. මෙම මහ ප්‍රදර්ශනය වසරක් පාසා පැවැත්වෙන අතර මෙවර පැවැත්වෙන්නේ 5 වැනි වරටය. මීට සමගාමීව චීන කුංමිං ආනයන අපනයන වෙළෙඳ ප්‍රදර්ශනය ද(China Kunming Important and Export Fair) මෙවර පැවැත්වෙන්නේ 25 වැනි වරටය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

“මේ වන විටත් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා චීන නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. අපි විශ්වාස කරනවා, මෙම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට විශේෂිත ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි කියා. ඒ වගේම යුනාන් ප්‍රාන්තය සමඟ අප නිලධාරීන් සාකච්ඡා කරමින්, යුනාන් ආයෝජකයින් අපගේ රටේ විශේෂිත වෙළෙඳ ක්‍ෂේත්‍ර සඳහා ආයෝජනය කිරීමට යොමු කරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඔස්සේ අපගේ අපනයන ප්‍රමාණය තවදුරටත් වැඩි වන බව අපගේ විශ්වාසයයි. ඒ වගේම චීන තාක්ෂණික හා ව්‍යාපාරික දැනුම අපගේ ප්‍රජාවට ලබා දීමටත් අපේක්‍ෂා කරනවා. ඒ සඳහා අපි කුංමිං මහා ප්‍රදර්ශනයට සහභාගී වී අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා චීන වෙළෙඳපොල අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාර සඳහා නව ආයෝජකයින් යොමු කර ගැනීමටත් අපේක්‍ෂා කරනවා.” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *