ශ්‍රී ලංකාව, එක්සත් රාජධානියට සිදු කළ අපනයන අතුරින් සියයට 75% ක්ම ඇඟලුම්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධානතම අපනයනකරුවා වන බවත්, එහි වෙළෙඳ වටිනාකම ඩොලර් බිලියන 01 කට ආසන්න වන බවත්, එම අපනයන අතුරින් සියයට 75% ක්ම ඇඟලුම් අපනයනය වන බව කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංයේදී ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් (James Dauris) මහතා හමු වී දෙරටේ ද්වීපාර්ශවික වෙළෙඳ කටයුතු පිළිබඳව හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සභාවේ ප්‍රගතිදායක තත්ත්වයන් ගැන කරන ලද සාකච්ඡාවේදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

“පසුගිය දා ලන්ඩන් නුවරදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සභා සමුළුව ඉතා සාර්ථක අන්දමින් පැවැත්වුණා. එහිදී පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල්වල ව්‍යාපාරික ප්‍රජාව සමඟ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව අතර ඉතා සාර්ථකව අදහස් හුවමාරු වුණා. ඒ වගේ ද්වීපාර්ශවික වෙළෙඳ ගණුදෙනු, ආයෝජන හවුල් ව්‍යාපාර දැනුම හුවමාරු කර ගැනීම ගැන අදහස් හුවමාරු වුණා. මේ සඳහා ව්‍යාපාරිකයින් 200 කට අධික පිරිසක් සහභාගී වී සිටියා. ඒ වගේම එහිදී ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ නිපැයුම් පිළිබඳව සන්නාම නාමයන් (Brand Name) ” දක්ෂම දිවයින ” නමින් ඉදිරිපත් කරනනටත් අපට හැකි වුණා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍යය සමඟ කරන අන්තර් පොදු රාජ්‍ය මණ්ඩලයීය අපනයන ප්‍රමාණය සියයට 3% ක් වෙනවා. ඒවා සඳහා නව මානයන් ඇති කර ගැනීමටත්, ඒවා වර්ධනය කර ගැනීමටත්, ආයෝජන සවිමත් කර ගැනීමටත් හේතු වුණා. එය හැම අතින්ම අපේ රටට වාසිදායක මෙන්ම සුවිශේෂී වුණා.” යැයි පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් (James Dauris) මහතා මෙසේ පැවසීය.

“පසුගිය දා ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයට ශ්‍රී ලංකාව සහභාගී වීමත්, එහි ව්‍යාපාරික සභාවට ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සහභාගී වීමත් පිළිබඳව මාගේ සතුට ප්‍රකාශ කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලය එහි සාමාජික රටවල් අතර පවතින විවිධත්වය තුළ, එහි සාමුහිකත්වය තුළින් සෞභාග්‍යය බෙදා හරිනවා. එම නිසා සාමාජික රටවල් අතර මිත්‍රත්වය මෙන්ම ද්වී පාර්ශවික සබඳතා වැඩි දියුණු වෙනවා.” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *