කෘෂිකර්ම අමාත්‍යාංශය ගොඩනැඟිල්ල පැරණි තැනටම

(කොළඹ, ලංකාපුවත්) – නව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර මහතා අද (03) පෙරවරුවේ සිය තනතුරෙහි රාජකාරී කටයුතු ආරම්භ කළේය. මෙම අවස්ථාවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය හා වර්තමාන වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී මාධ්‍යවේදීන් අමතමින් අදහස් ප්‍රකාශ කළ මහින්ද අමරවීර මහතා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා එහි කටයුතු හිටපු අමාත්‍යවරයා වශයෙන් දුමින්ද දිසානායක මහතා ඉතාමත් පුළුල් දැක්මක් සහිතව කටයුතු කර තිබෙන බවයි. සමහර ගැටළුවලට දුමින්ද දිසානායක මහතාට මුහුණපාන්නට සිදු වූයේ එතුමාගේ වැරැද්දක් නිසා නොව වෙනත් හේතූන් නිසා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. විශේෂයෙන් පොහොර සහනාධාරය ලබාදීමේ දී එතුමා ඒ සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කරමින් කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කළත්, ඇතැම් අය එය නොසලකා හැරිය බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී වත්මන් කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි ගොඩනැඟිල්ල පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබීය. එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමන් පෞද්ගලිකව මෙවැනි සුඛෝපභෝගී සහ විශාල ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය නොදකින බවයි. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පිහිටා තිබූ “ගොවිජන මන්දිරය” ගොඩනැඟිල්ල ඒ සඳහා සුදුසුම ස්ථානය බව තමන් පිළිගන්නා බවත් රජය විසින් වෙනත් කටයුත්තක් සඳහා එම ගොඩනැඟිල්ල පවරාගත් නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය වර්තමානයේ පිහිටි මෙම ගොඩනැඟිල්ලට ඒමට සිදු විය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පවතින කරුණු සලකා බලා ඒ පිළිබඳව අධ්‍යයනයක් කර නැවතත් ගොවිජන මන්දිරයට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙනයාම කෙරෙහි තමන්ගේ උපරිම අවධානය යොමු කර ඇති බව ද, අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *