ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමාගේ ලේකම්වරයෙකු මෙන්ම අතිරේක ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් රාජ්‍ය ආයතනවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් වංචනික පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලිකර තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඇහැලියගොඩ පනාවල ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු හිදැල්ල ආරච්චිගේ දොන් මහේෂ් මුදිතකුමාර නමැති 39 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

වංචනික කටයුතු සදහා යොදාගත් සිම් කාඩ්පත් තුනක් ද පුද්ගලයින්ගේ විවිධ සහතිකවල ඡායා පිටපත් ඇතුලත් ගොනු හයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

විවිධ ආයතනවල රැකියා ලබාදෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂය බැගින් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ මොහු මුදල් ලබාගෙන ඇති බවයි මෙතෙක් සිදුකල පරීක්ෂණවලදී හෙලිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *