​‘නොනවත්වා ගමන් කරන, ජාතික ආණ්ඩුව නම් වූ යාත්‍රාවේ ප්‍රතිලාභ ජනතාවටයි ’ – අමාත්‍ය අකිල විරාජ්

(කොළඹ, ලංකාපුවත්) – විවිධ හැල හැප්පීම් සහ මතගැටුම් මැද ඉදිරියටම ගමන් කරන, ජාතික ආණ්ඩුව නම් වූ යාත්‍රාවේ ප්‍රතිලාභ ජනතාව වෙත හිමිවී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සෑම ක්ෂේත්‍රයකටම අදාළ සේවා නියුක්තිකයින් හට සිය වෘත්තිය අභිමානය ආරක්ෂා කරගනිමින්, නොබියව සිය කටයුතු කරගෙන යාමේ අවස්ථාව ද උදාවී ඇත්තේ ජාතික ආණ්ඩුවේ සුබවාදී ක්‍රියාකාලාපය නිසා බවයි.

අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මීට වසර 03 කට පෙර සහ වර්තමාන තත්ත්වය සලකා බලමින්, වත්මන් යහපාලන රජය ජනතාව වෙත ලබා දී ඇති නිදහස පිළිබඳව හොඳින් අවබෝධ කරගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

වත්මන් රජය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත් සෑම පියවරක් සඳහාම ජාතික ආණ්ඩු සංකල්පය බෙහෙවින් ඉවහල් වූ බවත්, එම සංකල්පය නිසා රටක් ලෙස බොහෝ ධනාත්මක ප්‍රතිඵල අත්පත් කරගත හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය‍යෙන් ඉල්ලා සිටියේ සමබරව සිය වගකීම ඉටුකිරීමට කටයුතු කරන ලෙසයි.

රජයට විරුද්ධ පිරිස් හට මාධ්‍ය‍යෙන් ලැබෙන ඉඩකඩම රජයටත් බලා දෙන ලෙස මෙහිදී මහලේකම්වරයා මාධ්‍ය වෙත දන්වා සිටි.

අදාළ දේශපාලන ක්‍රියාවලිය තුළ බොහෝ කලක් ජීවත වන පුද්ගලයින් ලෙස, පැවති ඇතැම් රජයන් මාධ්‍ය හැසිරවූ අයුරු පිළිබඳව සිහියේ තබාගත යුතු බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී සිහිපත් කර සිටියේය.

එමෙන්ම පෙර පැවති රජයන් මෙන් මාධ්‍ය මර්දනය කිරීමේ ක්‍රමවේදයක් වත්මන් රජය කිසිදු විටෙක් අනුගමනය කර නොමැති බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී පෙන්වා දෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *