ගංගා සංරක්ෂණයට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනපති පෙන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉවුරු ඛාදනය හේතුවෙන් අපගේ ගංගා පද්ධතිය දැඩි අභියෝගයකට ලක්ව තිබෙන අතර ගංගා සංරක්ෂණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය කඩිනමින් මතුව ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ ලෝක බැංකු නියෝජිත පිරිසක් සමග ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනි.

රට මධ්‍යයේ සිට ගංගා 103 ක් මහ මුහුදට ගලා බසින අතර ඉන් විශාලතම ගංගාව ලෙස මහවැලි ගංගාව හැඳින්වෙයි. එහෙත් ගංගා සංරක්ෂණය සඳහා නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම සහ ඒ පිළිබඳ කටයුතු කිරීමට එක් වගකිවයුතු ආයතනයක් නොමැතිවීම හේතුවෙන් මහවැලි ගංගාව මෙන්ම සෙසු ගංගාවන් ද දැඩි අභියෝගයකට ලක්ව තිබෙන අතර ඒ වෙනුවෙන් වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ලෝක බැංකුව දීර්ඝ කාලයක සිට ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයේ වගකිවයුතු කොටස්කරුවෙකු ලෙස ඉදිරියේදී ද එම සහය නොඅඩුව අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ගෝලීය උෂ්ණත්වය සමග සිදුව ඇති කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ ලොව අන් රටවලට මෙන්ම ශ‍්‍රී ලංකාවට ද මුහුණදීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා නියඟය සහ ගංවතුර ශ‍්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නොවුනද පසුගිය වසර කිහිපය තුළ තරම් පීඩාකාරී තත්ත්වයකට මීට පෙර මුහුණදීමට සිදු නොවූ බව ද සඳහන් කළේය.

එම තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමේදී ලෝක බැංකුවේ ආධාර මත කි‍්‍රයාත්මක ව්‍යාපෘති ගණනාවකින් ලැබුණු දායකත්වය ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කළේය.

ලෝක බැංකු ආධාර යටතේ කි‍්‍රයාත්මක වේලි ආරක්ෂණ ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ඉදිරි වසර කිහිපය තුළ ජල කළමනාකරණ ක්ෂේත‍්‍රය තුළ සිදුකිරීමට අපේක්ෂා කරන නව පරිවර්තනයන් සඳහා ලෝක බැංකුවේ සහය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

කෘෂිකර්ම, වාර්මාර්ග ක්ෂේත‍්‍රය සේම බලශක්ති ක්ෂේත‍්‍රයේ වර්ධනය පිළිබඳවද රජය ප‍්‍රමුඛ අවධානයකින් කටයුතු කරන අතර, එහිදී පුනර්ජනනීය බලශක්තියට ප‍්‍රමුඛතාවය දී තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කුමන අන්දමේ ආයෝජන රටට ගලා ආවද ශ‍්‍රී ලංකා රජය නිරන්තරයෙන් විශ්වාස තබා ඇත්තේ කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථික රටාවක් පිළිබඳව යැයි ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *