පුත්තලමට මහා පරිමාණ පානීය ජල ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 05 ක් සම්පූර්ණයෙන්ම ආවරණ වන පරිදි පානීය ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 8625 කි.

ස්පාඤ්ඤ රජය මේ සඳහා අධාර සපයන බව වාරිමාර්ග, ජලසම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව නිරන්තරයෙන් පීඩාවට පත්වන ගැටළුවක් ලෙස පානීය ජල ගැටළුව හදුනා ගෙන තිබේ. මෙම ගැටළුවට ස්ථිර විසඳුම් ලබා දෙමින් සහ තවත් වසර 30 ක් දක්වා වූ ඉදිරි අනාගතයේ ජල අවශ්‍යතාවද සම්පූර්ණ කිරීමට හැකිවන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ යටතේ සෘජුවම එක්ලක්‍ෂ විසි දහසක් තරම්වූ ජනගහනයකට පානීය ජලය ලබා දීමට නියමිතය.

ආණමඩුව, නවගත්තේගම, මහකුඹුක්කඩවල, මුන්දලම හා පුත්තලම යන ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශ සියල්ල ආවරණ වන පරිදි පානීය ජලය සැපයීමට මෙමගින් සැලසුම් කර තිබේ. එමෙන්ම වයඹ පළාතට අයත් කොටවෙහෙර හා ගල්ගමුව යන ප්‍රදේශ වෙතද මෙම ව්‍යාපෘතිය යටතේ ජලය ලබා දීමට සැලසුම් කර ඇත.

ඉගිනිමිටිය වැවට පහළින් වූ ප්‍රදේශයේ පොකුණක් ඉදිකිරීමට නියමිත අතර, ජල පිරිපහදුව ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේද එම ස්ථානයේයී. ව්‍යාපෘතියට අදාලව තවත් ඇල මාර්ග කිහිපයක්ද ඉදිකිරීමට නියමිතයි. ඉගිනිමිටියේ සිට දිවෙන ජලය බෙදා හරින නල පද්ධතිය කිලෝමීටර් 400 ක් තරම් දුරට දිවයයි.

යෝජිත නව ජල යෝජනා ක්‍රමය යටතේ ස්ථාන හතරක ප්‍රධාන ජල ටැංකි හතරක් ස්ථාපිත කෙරේ. මහකුඹුක්කඩවල තරුණ ව්‍යාපාරයේ පළමු ජල ටැංකිය ස්ථාපිත කිරීමට නියමිතය. දෙවැන්න ආණමඩුව ගම්උදා භූමියේද තෙවැන්න මුල්ලේගම ප්‍රදේශයේද ඉදිකිරීමට සැලසුම් කර තිබේ. සිව්වැනි ජල ටැංකිය ඉදිවන්නේ ඔලගන්විල්ලුව ප්‍රදේශයේයී.

2020 වසරේදී සියළු ඉදිකිරීම් නිමා කිරීමට නියමිත අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලය විසිනි.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන 23 දා ආණමඩුව ජලසම්පත් භූමියේදී ආරම්භ කිරීමට නියමිතය.

මේ පිළිබඳ පසුගියදා වාරිමාර්ග අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ අදාල ජල ව්‍යාපෘතිය මගින් පුත්තලමේ පිපාසය මුළුමනින්ම සංසිදුවාලීමට හැකි වන බවයි. තමන් කාලයක සිට කළ අරගලයක ප්‍රතිපලයක් මෙලෙස සැබෑවක් වූ බවද ඔහු නිලධාරීන් අමතමින් පැවසීය. එබැවින් ගම් වටකළ පවස නිවන දිය උල්පත යන තේමාව යටතේ මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *